ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංක්‍රමණික ශ්‍රමිකයන්  වෙනුවෙන් ප්‍රේෂණ පිළිබඳව දැනුම්වත් කිරීමේ සැසියක් පවත්වයි

ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංක්‍රමණික ශ්‍රමිකයන්  වෙනුවෙන් ප්‍රේෂණ පිළිබඳව දැනුම්වත් කිරීමේ සැසියක් පවත්වයි

ශ්‍රී ලංකාවට ප්‍රේෂණ ගලා ඒම ඉහළ නැංවීමේ අරමුණින්, ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා මහජන බැංකුව සමඟ එක්ව, ජෝර්දානයේ ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් සඳහා වූ අන්තර් ක්‍රියාකාරී සැසියක් 2022 අගෝස්තු 12 වැනි දින Zoom තාක්ෂණය ඔස්සේ සංවිධානය කළේය. මහජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී අරුණි ලියනගුණවර්ධන මහත්මිය අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් (NRFC) ගිණුමක් ආරම්භ කිරීමේ ක්‍රියා පටිපාටිය පැහැදිලි කිරීමේ අරමුණින්, මෙම සැසියට සහභාගී වූ පිරිස සමඟ සම්බන්ධ වූ අතර මහජන බැංකුව හරහා ශ්‍රී ලංකාවට මුදල් ප්‍රේෂණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ද පැහැදිලි කළාය. වැඩසටහනට සහභාගී වූ සංක්‍රමණික සේවකයන්ට NRFC ගිණුම් විවෘත කිරීමේ වැදගත්කම පිළිබඳව උපදෙස් දෙන ලදි.

සිය අදහස් පළ කළ තානාපති ශානිකා දිසානායක මැතිනිය, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහය වීම සඳහා ශ්‍රී ලංකාවට ප්‍රේෂණ ගලා ඒම ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළ අතර, NRFC ගිණුම් විවෘත කිරීම සඳහා සංක්‍රමණික සේවකයන් දිරිමත් කළාය. ගිණුම් විවෘත කිරීමේ අයදුම්පත් පැමිණි සියලු දෙනාට බෙදා දෙන ලදි.

බොහෝ ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් පිරිසක් සේවය කරන ඇඟලුම් කම්හල් වෙතද ළඟා වන තානාපති කාර්යාලය, NRFC ගිණුම් විවෘත කරන ලෙස සහ තම අරමුදල් නීත්‍යානුකූල මාර්ග හරහා මෙරටට ප්‍රේෂණය කරන ලෙස එම කම්හල්වල ශ්‍රමිකයන් දිරිමත් කරයි.

කොන්සියුලර් කටයුතු පිළිබඳ කළමනාකරණ සේවා නිලධාරී හර්ෂණ ලියනගේ සහ පෞද්ගලික සහකාර මධුකා විතානවසම්  මහත්මිය මෙම හමුව සඳහා සහභාගී වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
අම්මාන්
2022 අගෝස්තු 16 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close