මියන්මාර රජය ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 1000 ක් පරිත්‍යාග කරයි

මියන්මාර රජය ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 1000 ක් පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකා රුපියල් මිලියන 170 ක (දළ වශයෙන් ඇ. ඩො. 463,215 ක්) වටිනාකමින් යුත් මියන්මාර සුදු සහල් මෙට්‍රික් ටොන් 1000 ක්, මියන්මාර රජය විසින් ශ්‍රී ලංකා රජය වෙත 2022 සැප්තැම්බර් 2 වැනි දින පරිත්‍යාග කරන ලදි.

මියන්මාරයේ යැන්ගොන් හි පිහිටි ඒෂියා වර්ල්ඩ් පෝර්ට් පර්යන්තයේ පැවති උත්සවයක දී, මියන්මාර රජයේ  වාණිජ්‍ය අමාත්‍ය යූ.අවුන් නයින් ඕ මැතිතුමා විසින් මෙම සහල් තොගය මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර මැතිතුමා වෙත නිල වශයෙන් භාරදෙන ලදි.

මෙම සහල් තොගය භාර ගත් තානාපති ජනක බණ්ඩාර මැතිතුමා, මෙම අභියෝගාත්මක අවස්ථාව හමුවේ ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 1000ක් පරිත්‍යාග කරමින් සිය ත්‍යාගශීලී බව විදහා දැක්වූ මියන්මාර රජයට සහ එහි ජනතාවට සිය කෘතඥතාව සහ අවංක ස්තුතිය පුද කළේ ය.

තානාපති ජනක බණ්ඩාර මැතිතුමා 2022 ජූනි 7 වැනි දින මියන්මාර රාජ්‍ය අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ජෙනරාල් මින් අවුන් හ්ලේන්ග් මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූ අවස්ථාවේ දී එතුමා යොමු කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් සහ දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වා වසර 73 ක් සපිරීම නිමිත්තෙන් මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකාවට ප්‍රදානය කරන ලදි.

මෙම සහල් තොගය 2022 සැප්තැම්බර් 4 වැනි දින නැව්ගත කෙරිණි. එය 2022 සැප්තැම්බර් මස අග වන විට කොළඹ වරායට ළඟා වනු ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

යැංගොන්

2022 සැප්තැම්බර් 06 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close