මාලදිවයිනේ තිලෆුෂි දිවයිනේ පවත්වන ලද ජංගම කොන්සියුලර් සහ කම්කරු කටයුතු සේවය

මාලදිවයිනේ තිලෆුෂි දිවයිනේ පවත්වන ලද ජංගම කොන්සියුලර් සහ කම්කරු කටයුතු සේවය

මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය 2022 ජූලි 29 වැනි දින මාලදිවයිනේ තිලෆුෂි දිවයිනේ දී ජංගම කොන්සියුලර් සහ කම්කරු කටයුතු සේවයක් සංවිධානය කළේ ය.

2022 මාර්තු 17 වැනි දින හුල්හුමාලේ දිවයිනේ පැවති අතිසාර්ථක සමාරම්භක වැඩසටහනෙන් පසුව දූත මණ්ඩලය විසින් පවත්වන ලද දෙවැනි ජංගම සේවාව මෙයයි.

නව විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් භාරගැනීම, ශ්‍රී ලංකා රියදුරු බලපත්‍ර මාරු කිරීම, සහතික පත්‍ර සහතික කිරීම මෙන්ම ශ්‍රමිකයන් සම්බන්ධ ගැටළු සඳහා යොමුවීම ඇතුළු සේවාවන් රැසක් මහ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් දූත මණ්ඩල කණ්ඩායම විසින්සේවා අපේක්ෂිත ශ්‍රී ලාංකිකයන් වෙත සපයන ලදි.

මෙම කණ්ඩායම, ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සේවයේ නියුතු බෝට්ටු ඉදිකිරීමේ සහ අලුත්වැඩියා කිරීමේ අංගන දෙකක් සදහා ජංගම සේවය සැපයීය. 

ශ්‍රී ලංකා - මාලදිවයින් හවුල් ව්‍යාපාරයක් වන කීල් මැරීන් පුද්. සමාගමේ කළමනාකරු වන අසංක ප්‍රනාන්දු මහතා මෙම ජංගම සේවාව පැවැත්වීම සඳහා සිය සමාගමේ කාර්යාල අවකාශය දූත මණ්ඩලය සඳහා කිසිදු අයකිරීමකින් තොරව ලබා දීම මෙම වැඩසටහනේ විශේෂත්වයකි.

තිලෆුෂි දිවයින මාලේ නුවරට බටහිර දෙසින් පිහිටා ඇති අතර, එය නාගරික කසළ පිරවුම් කාර්මික ප්‍රදේශයක් ලෙස නිර්මාණය කරන ලද කෘතිම දිවයිනකි. මෙම දිවයිනේ ප්‍රධාන කාර්මික ක්‍රියාකාරකම් වශයෙන් බෝට්ටු නිෂ්පාදනය, සිමෙන්ති ඇසුරුම් කිරීම, මීතේන් වායුව බෝතල් කිරීම සහ විවිධ මහා පරිමාණ ගබඩා ඉදිකිරීම යනාදිය හඳුනාගත හැකි ය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

මාලේ

2022 අගෝස්තු 03 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close