මහ නැගෙනහිර ජපාන භූමිකම්පාවෙහි දස වර්ෂ පූර්ණය සැමරේ

මහ නැගෙනහිර ජපාන භූමිකම්පාවෙහි දස වර්ෂ පූර්ණය සැමරේ

ටෝකියෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ප්‍රජාව එක්ව, මහ නැගෙනහිර ජපානයේ සිදු වූ භූමිකම්පාවෙහි දස වර්ෂ පූර්ණය සැමරීම සහ ඉන් විපතට පත්වූවන්ට සහ දිවි ගලවා ගත් පිරිසට ආශිර්වාද කිරීම සඳහා 2021 මාර්තු 11 වන දින සවාරා ලංකාජි විහාරස්ථානයේදී විශේෂ සැමරුම් උත්සවයක් සංවිධානය කරන ලදී. 100 දෙනකුට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් යුතුව එම සැමරුම් උත්සවය පැවැත්විණි. රිට්චර් මාපාංක 9.3 ක විශාලත්වයකින් යුතුව ජපානයට බලපෑ එම භූමිකම්පාවෙන් පසුව සුනාමි තත්වයක් හටගත් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ෆුකුෂිමා හි න්‍යෂ්ටික බලාගාරයෙහි විකිරණ කාන්දු වීම හේතුවෙන් ජපානයට විශාල භෞතික හා මානව හානියක් සිදු ව, අහිංසක ජීවිත 20,000 ක් පමණ විනාශයට පත් විය.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින්, ශ්‍රී ලංකා ප්‍රජාව, ශ්‍රී ලංකා සංගම්,  ශ්‍රී ලංකා විහාර සහ ශ්‍රී ලංකාවේ ජපන් හිතවතුන්ගේ සම්බන්ධීකරණයෙන් යුතුව, 100 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් අනුස්මරණ උත්සවය සංවිධානය කරන ලදී. එමෙන්ම, ශ්‍රී ලංකාවේ සහ ජපන් විහාරස්ථානවල බෞද්ධ භික්ෂූන් වහන්සේලා 15 කට අධික පිරිසක් හා මාධ්‍ය හා රූපවාහිනී ආයතන පිරිස් මීට සහභාගී වූහ. මෙම උත්සවය සඳහා ප්‍රණීත ආහාර පාන ඇතුළු වෘත්තීය සේවාවන් බොහොමයක් ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් පරිත්‍යාග කරන ලද බව සඳහන් කිරීම වැදගත් වේ.

මීට වසර 10 කට පෙර සිදු වූ විනාශයෙන් අනතුරුව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය  මගින් සහන කටයුතු සම්බන්ධීකරණය කළ ආකාරය තානාපති සංජීව් ගුණසේකර මැතිතුමා සිහිපත් කළේය. විපතින් මසකට පසුව,  පීඩාවට පත් ජපන් ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සහ ජංගම මුළුතැන්ගෙවල්  භාවිතයෙන් උණුසුම් ශ්‍රී ලාංකික ආහාර පිසීම සඳහා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ ස්වේච්ඡා සේවකයින් බලමුළු ගැන්වූ ආකාරය ගරු තානාපතිවරයා පැහැදිලි කළේය. එමෙන්ම, පිරිසිදු ශ්‍රී ලාංකික තේ බෑග් මිලියන 3 ක් සහ මුදල් ශ්‍රී ලංකා රජය විසින් ජපාන රතු කුරුස සංවිධානයට තෑගි කළ බව එතුමා වැඩි දුරටත් සිහිපත් කළේය. ශ්‍රී ලංකා රජය විසින් එවන ලද විශේෂ ත්‍රිවිධ හමුදා ස්වේච්ඡා කණ්ඩායම පිළිබඳවද, ඔවුන් ආපදා ප්‍රදේශවල මසකට අධික කාලයක් රාජකාරි කටයුතු කරමින් ගතකළ බවද, ඔහු සඳහන් කළේය.

2004 වසරේ දෙසැම්බරයේ සුනාමි ව්‍යසනයෙන් පසු ජපානය, ශ්‍රී ලංකාවට සහ ජනතාව වෙත ලබා දුන් නොමසුරු ජපන් ආධාර පිළිබඳවද තානාපතිවරයා එහිදී තවදුරටත් සිහිපත් කළේය. ජපානය විසින් ශ්‍රී ලංකාවට පිරි නමන ලද පූර්ව සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය පිළිබඳවද ඔහු විශේෂයෙන් සිහිපත් කළේය. විපත් ඇති වන අවස්ථාවන්හි දෙරට එක්ව නැගී සිටීමෙහි ඓතිහාසික සන්ධිස්ථාන රාශියක් හේතුවෙන්, ශ්‍රී ලංකාව සහ ජපානය අතර ඇති විශේෂ සම්බන්ධතාවය තානාපතිවරයා එහිදී අවධාරණය කළේය. එම සම්බන්ධතාවය සුවිශේෂී බවට පත් කරවන රටවල් ද්විත්වයේ ජනතාවට පොදු වන ආගන්තුක සත්කාරය සහ කරුණාව ඇතුළත් සංස්කෘතික, ආගමික හා සාරධර්ම ද ඔහු සඳහන් කළේය.

ව්‍යසනයෙන් විපතට පත්වූවන් සිහි කිරීම පිණිස තානාපතිවරයා සහ ජපන් අමුත්තන් පුෂ්පෝපහාර පැවැත්වූ අතර, බෞද්ධ ස්වාමීන් වහන්සේලා විශේෂ දේශනයක්ද පැවැත්වූහ. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ, ජැපෑන්ස් ෆේස් බුක් ලයිව් හි සහ අනෙකුත් මාධ්‍ය නාලිකා ඔස්සේ මෙම උත්සවය විකාශය කෙරිණි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ටෝකියෝ

2021 මාර්තු 14

Print Friendly, PDF & Email
Please follow and like us:

Close