බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් ටෙන්සින් ලෙක්ෆෙල් මැතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දී විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මැතිතුමා බිම්ස්ටෙක් සංවිධානය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කැපවීම පිළිබඳව සහතික කරයි

බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් ටෙන්සින් ලෙක්ෆෙල් මැතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දී විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මැතිතුමා බිම්ස්ටෙක් සංවිධානය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කැපවීම පිළිබඳව සහතික කරයි

බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශයේ (BIMSTEC) මහලේකම් ටෙන්සින් ලෙක්ෆෙල් මැතිතුමා  විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා හමුවූ අතර, එහිදී සිය ප්‍රථම ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව විස්තර කළේ ය. 2018 සිට ශ්‍රී ලංකාව බිම්ස්ටෙක් හි සභාපතිත්වය දැරූ බව සිහිපත් කළ අමාත්‍යවරයා, මෙම කලාපීය සංවිධානයේ ඉලක්ක ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාව තුළ පවත්නා කැපවීම පිළිබඳව සහතික කළේ ය.

මෙම සංචාරය සඳහා සත්කාරකත්වය ලබා දුන් ශ්‍රී ලංකා රජය වෙත සිය ස්තුතිය පළ කළ මහලේකම්වරයා, බිම්ස්ටෙක් ප්‍රඥප්තිය අවසන් කිරීම සහ මෙම සංවිධානයේ පදනම සකස් කෙරෙන අයුරින් සාමාජික රටවල් අතර සහයෝගීතාව විදහා දැක්වෙන ක්ෂේත්‍ර වෙන් කිරීම ඇතුළුව සිය ධුර කාලය තුළ ශ්‍රී ලංකාව අත්පත් කරගත් බොහෝ ජයග්‍රහණ පිළිබඳව දන්වා සිටියේ ය. 5 වැනි බිම්ස්ටෙක් සමුළුව ලබන වසර ආරම්භයේ දී ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවැත්වීමට නියමිත අතර, එහිදී බිම්ස්ටෙක් හි සභාපතිත්වය තායිලන්තය වෙත හිමි වනු ඇත.

සෞඛ්‍ය සහ මානව සම්පත් සංවර්ධනය යනාදී උප අංශ සහ විද්‍යා හා තාක්ෂණ සහ නවෝත්පාදන අංශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ප්‍රමුඛ පෙළේ රටක් වන බැවින්, මෙම කේන්ද්‍රීය අංශ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් හා සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මැතිතුමා, කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ මැතිනිය, වැඩ බලන විදේශ ලේකම් ඒ. එම්. ජේ. සාදික් මහතා සහ විදේශ අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ පැවැත්වූ  සාකච්ඡා පිළිබඳව ද මහලේකම්වරයා විදේශ අමාත්‍යවරයා දැනුම්වත් කළේ ය.

තවද, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වූ මහලේකම්වරයා, කොවිඩ්- 19 වසංගතයේ බලපෑම මැඩලීම මෙන්ම  එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව ප්‍රශංසා කළේ ය. කලාපයේ රටවල ආර්ථිකය පණගැන්වීමේ අවශ්‍යතාවය පිළිබඳව අවධාරණය කළ එතුමා, මෙම කර්තව්‍ය සම්බන්ධයෙන් බිම්ස්ටෙක් සංවිධානයට වැදගත් කාර්යභාරයක් පැවරී ඇති බව දන්වා සිටියේ ය. සියලුම සාමාජික රටවල් සිය කලාපයේ ජනතාව වෙත ළඟා විය හැකි අංශ යටතේ ක්‍රියාකාරී සැලසුම් සකස් කළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේ ය.

මහලේකම්වරයා සිය සංචාරය අතරතුර දී මහනුවර ශ්‍රී දළඳා මාළිගාව ද වැඳ පුදා ගත්තේ ය.

අතිරේක ලේකම් සබරුල්ලා ඛාන් මහතා, වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් අන්සුල් බානු ජාන් මහත්මිය සහ ආර්ථික කටයුතු අංශයේ විධායක සහකාර නිලධාරිනී කලණි ධර්මසේන මහත්මිය යනාදීහු මෙම සංචාරය ආශ්‍රිත කටයුතු සඳහා සම්බන්ධ වූහ.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 දෙසැම්බර් 10 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close