ගරු විදේශ අමාත්‍යවරයා සඳහා දේශනය (දූත පිරිසේ ප්‍රධානී) 2021 සෝල් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක අමාත්‍ය මණ්ඩල රැස්වීම 2021 දෙසැම්බර් 7-8 දක්වා 1 වැනි සැසිය: සාමය තහවුරු කිරීම

ගරු විදේශ අමාත්‍යවරයා සඳහා දේශනය (දූත පිරිසේ ප්‍රධානී) 2021 සෝල් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක අමාත්‍ය මණ්ඩල රැස්වීම 2021 දෙසැම්බර් 7-8 දක්වා 1 වැනි සැසිය: සාමය තහවුරු කිරීම

කොරියානු ජනරජයේ ගරු විදේශ කටයුතු අමාත්‍ය චුන්ග් යුයි- යොන්ග් මැතිතුමනි,
සම්භාවනීය අමුත්තනි,
හිතවත් මිත්‍රවරුනි,

 

ප්‍රථමයෙන්ම, 2021 සෝල් එක්සත් ජාතීන්ගේ සාම සාධක අමාත්‍ය මණ්ඩල රැස්වීම අතථ්‍ය ආකෘතියක් යටතේ පැවැත්වීමට සත්කාරකත්වය සැපයීම සඳහා කෙටි කාලයක් ඇතුළත දී කාර්යක්ෂම විධිවිධාන සම්පාදනය කළ ගරු විදේශ කටයුතු අමාත්‍ය චුන්ග් යුයි- යොන්ග් මැතිතුමා සහ කොරියානු ජනරජයේ අදාළ ආයතන වෙත මාගේ අවංක ප්‍රණාමය පිරිනැමීමට කැමැත්තෙමි. තවද, 2021 එක්සත් ජාතීන්ගේ සාම සාධක අමාත්‍ය මණ්ඩල ක්‍රියාවලිය සඳහා සාමාජික රාජ්‍යවල- සම සභාපතිවරුන් 12 දෙනා[1], සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුව ඇතුළු එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කාර්යාලය සහ මෙහෙයුම් සහය දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් වටිනා දායකත්වය ද අපි අගය කරන්නෙමු.

2014 වර්ෂයේ දී පවත්වන ලද ප්‍රථම සාම සාධක සමුළුවේ ආරම්භයත් සමඟම නිල ඇඳුමින් සැරසුණු පිරිස්, මූල්‍ය සම්පත් සහ සාම සාධක මෙහෙයුම් සඳහා ධාරිතා ගොඩනැගීම යනාදී ස්ථිර ප්‍රතිඥා ක්‍රියාත්මක කිරීම හරහා එක්සත් ජාතීන්ගේ සාම සාධක අමාත්‍ය මණ්ඩල ක්‍රියාවලිය එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා වැදගත් දායකත්වයක් ලබා දී ඇත. එක්සත් ජාතීන්ගේ වර්තමාන සහ අනාගත සාම සාධක මෙහෙයුම්වලට වාසිදායක වන වටිනා අදහස් හුවමාරු කර ගැනීමට සහ ප්‍රතිඥා ප්‍රකාශයට පත් කිරීමට 2021 වර්ෂයේ අමාත්‍ය මණ්ඩල රැස්වීම මගින් අවස්ථාව උදා වනු ඇතැයි මම අපේක්ෂා කරමි.

1948 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව ආරම්භ කිරීමත් සමඟම ලෝකයේ බොහෝ ප්‍රදේශවල සාමය තහවුරු කිරීම, සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සහ දේශපාලන ක්‍රියාවලීන්ට සහය වීම සඳහා එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයන් වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත. ගෝලීය කටයුතුවල දී වඩාත් කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කිරීමට සහ සාමාජික රටවල් අතර හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සාම සාධක කටයුතු හරහා ඉදිරියට පැමිණ ඇත.

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව සිය දිගු ඉතිහාසය පුරාවට බොහෝ අභියෝගවලට මුහුණ දෙමින් විකාශනය වී ඇත. වර්තමාන සාම සාධක භටයන් වෙනස්වනසුලු සහ සංකීර්ණ මෙහෙයුම් පරිසර තුළ ක්‍රියාත්මක වේ. එවැනි අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමේ අරමුණින්, සාම සාධක මෙහෙයුම් සඳහා වන අන්‍යෝන්‍ය දේශපාලන කැපවීම අලුත් කිරීම සඳහා ‘සාම සාධක මුලපිරීම සඳහා ක්‍රියාමාර්ගය’ (Action for Peacekeeping initiative’ (A4P)) නමැති මුලපිරීම 2018 වර්ෂයේ  දී මහ ලේකම්වරයා විසින් දියත් කරන ලදී. සාම සාධක මෙහෙයුම් සඳහා වන ක්‍රියාමාර්ගයට සමගාමීව සාම සාධක මෙහෙයුම් පිළිබඳ ‘හවුල් කැපවීම් පිළිබඳ ප්‍රකාශනයට’ (‘Declaration of Shared Commitments’)  සහය දක්වන රටවල් සමඟ සම්බන්ධ වීමට ලැබීම පිළිබඳව ශ්‍රී ලංකාව සතුටට පත් වේ.

2021 සෝල් එක්සත් ජාතීන්ගේ සාම සාධක අමාත්‍ය මණ්ඩල රැස්වීමේ පරමාර්ථය වන්නේ, 2021- 2023 වර්ෂ සඳහා වන ප්‍රමුඛතා අවධාරණය කෙරෙන ‘ඉහළ නැංවූ සාම සාධක මුලපිරීම සඳහා ක්‍රියාමාර්ගය(‘Action for Peacekeeping Plus initiative’ (A4P+)) නමැති මුලපිරීමට සමගාමීව එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල කාර්ය සාධනය සහ බලපෑම ඉහළ නැංවීම ඇතුළුව එහි සාම සාධන කටයුතු සවිබල ගැන්වීම යි.  අද දින පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී වෛද්‍ය ධාරිතා ගොඩනැගීම සහ තාක්‍ෂණය ඉහළ නැංවීම යනාදී හරස් කැපුම් තේමා පිළිබඳව අවධානය යොමු කෙරේ. සාම සාධක හමුදාවට නවමු මුහුණුවරක් ලබා දෙමින් නව තාක්ෂණය සහ සම්පත් සමඟින් ඔවුන් සන්නද්ධ කිරීමට ගන්නා සියලුම උත්සාහයන්ට ශ්‍රී ලංකාව සිය සහය ලබා දෙයි. දැඩි අවදානමක් සහිත වාතාවරණයන් තුළ ස්ථිර ලෙස සේවයේ නිරත වීම ඇතුළුව, කොවිඩ්-19 වසංගත ව්‍යාප්තියේ ආරම්භයත් සමඟ හටගත් තර්ජන හමුවේ සාම සාධක භටයින්ගේ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා මෙවැනි පියවර ඉවහල් වේ. කොරියානු ජනරජයේ ගරු විදේශ අමාත්‍යවරයා සිය දේශනය තුළින් ‘සාම සාධක කටයුතු සඳහා තාක්‍ෂණය සහ වෛද්‍ය ධාරිතා ගොඩනැගීම පිළිබඳ සෝල් මුලපිරීම’ නමැති මුලපිරීම  ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතුටට පත් වේ. මෙම මුලපිරීම සඳහා කොරියානු ජනරජය සමඟ සම්බන්ධ වීමට අපි බලාපොරොත්තු වෙමු.

ශ්‍රී ලංකාව වසර 50කට වැඩි කාලයක් මුළුල්ලේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට දායකත්වය සපයා ඇත. එය එක්සත් ජාතීන්ගේ ව්‍යුහය සමඟ ශ්‍රී ලංකාව සිදු කරන නිරතවීම්, සහ සියලු රටවල් සමඟ සුහද සබඳතා පැවැත්වීම සඳහා ඉවහල් වන වැදගත් අංගයකි. මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන ලද ප්‍රතිඥාවන්ට අනුකූලව එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා අපගේ දායකත්වය ඉහළ නැංවීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.

වර්තමානය වන විට  ශ්‍රී ලංකා සාම සාධක භටයන් මධ්‍යම අප්‍රිකාව, දකුණු සුඩානය සහ මාලි ඇතුළු වඩාත් ඉල්ලුමක් ඇති ස්ථාන කිහිපයක් තුළ සේවයේ යොදවා ඇත. ඔවුන්ගේ වෘත්තීයභාවය සහ අවිවාදිත නිපුණත්වය හේතුවෙන් ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිළිගැනීමට පාත්‍ර වී ඇත. අපගේ ඉතිහාසය පුරාවට සාම සාධනය සඳහා ලබා දුන් දායකත්වය ගත් කල, ශ්‍රී ලංකාවේ හමුදා භට පිරිස් 11 ක් සිය ජීවිත පූජා කර ඇත. එක්සත් ජාතීන්ගේ සාම සාධක සේවයේ නිරත වී සිටිය දී උතුම් ජීවිත පරිත්‍යාගයන් සිදු කළ සියලුම එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ට අපි අපගේ ප්‍රණාමය පුද කරන්නෙමු.

මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී පවත්වන ලද සාකච්ඡා සහ ප්‍රතිඥා මගින් ගැටුම් හේතුවෙන් හානියට පත් වූ රටවල සහ කලාපවල සාමය පවත්වා ගැනීම සඳහා තිරසාර බලපෑමක් ඇති වනු දැකීමේ අවංක බලාපොරොත්තුවෙන් මම මෙම දේශනය අවසන් කරමි.

[1] බංග්ලාදේශය, කැනඩාව, ඉතියෝපියාව, ඉන්දුනීසියාව, ජපානය, නෙදර්ලන්තය, පාකිස්තානය, කොරියානු ජනරජය, රුවන්ඩාව, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, උරුගුවේ

Print Friendly, PDF & Email
Please follow and like us:

Close