බිම්ස්ටෙක් කලාපය ආරක්ෂක තර්ජනවලින් තොර විය යුතු බව ශ්‍රී ලංකාව අවධාරණය කරයි

බිම්ස්ටෙක් කලාපය ආරක්ෂක තර්ජනවලින් තොර විය යුතු බව ශ්‍රී ලංකාව අවධාරණය කරයි

බිම්ස්ටෙක් කලාපය සියලු සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන ආරක්ෂක තර්ජනවලින් තොර විය යුතු බව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි සමන්තා කේ. ජයසූරිය මහත්මිය සඳහන් කරයි. “අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව ශක්තිමත් කිරීම, ආරක්ෂාව සම්බන්ධ තොරතුරු හා බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම හා සමුද්‍රීය සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම සඳහා වන සාමූහික ප්‍රයත්නයන් බිම්ස්ටෙක් කලාපයට අයත් රාජ්‍යයන්හි වැදගත් කාර්යභාරයක් ඉටු කරයි” යයි ද, තානාපතිතුමිය පැවසුවාය. ඇය මේ බව සඳහන් කළේ බැංකොක් හි පැවැති බිම්ස්ටෙක් උත්සවයක් අමතමින්ය.

"ජාත්‍යන්තර වශයෙන් එකඟ වූ නීතිරීතිවලට අනුව, යාත්‍රා කිරීමේ දී ආරක්ෂාව හා සුරක්ෂිතභාවය සහ සාගර සම්පත් සාමකාමීව හා තිරසාර ලෙස උපයෝගී කර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකාව විශ්වාසය තබමින් ප්‍රවර්ධනය කරනවා" යැයිද තනාපතිවරිය පැවසුවා ය.

මෙම විශේෂ උත්සවයේ තේමාව වූයේ “බෙංගාල බොක්ක: තිරසාරභාවය සඳහා වූ අපේක්ෂාව”යන්නයි. බිම්ස්ටෙක් පිළිබඳ මගේ රටේ දැක්ම” පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් තානාපතිවරිය මෙසේද කීවාය. “තිරසාර නිල් ආර්ථිකය යනු අපේ කලාපයේ අනාගතයයි".

"ශ්‍රී ලංකාව මේවා අභිලාෂයන්ට පමණක් සීමා නොවන අතර, සමෘද්ධිමත් හා සාමකාමී ශ්‍රී ලංකාවක් සහ බෙංගාල බොක්ක කලාපය ඇතුළුව ඉන් ඔබ්බට සුරක්ෂිත කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජාතික ප්‍රතිපත්ති රාමුව තුළ දැනටමත් හොඳින් පිහිටුවා ඇතැයිද” තානාපතිනිය පැවසුවාය.

බහුආංශික තාක්‍ෂණික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක සංවිධානයේ (BIMSTEC) මෙම දෙදින මහජන උත්සවය, බෙංගාල බොක්ක අවට රටවල් හත වැදගත් කලාපීය කණ්ඩායමක් ලෙස එක්ව තබා ගන්නා විවිධ හා පොහොසත් සම්ප්‍රදායන්, සංස්කෘතීන් සහ ජීවන රටාව පිළිබඳ දැනුම බෙදා ගැනීම සහ තායි ජනතාව අතර වඩා හොඳ අවබෝධයක් ඇති කිරීම අරමුණු කර ගනිමින්, තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් යුතුව, චූලාලොන්කෝන් විශ්වවිද්‍යාලයේ ආසියානු අධ්‍යයන ආයතනය සහ ප්‍රතිපත්ති බුද්ධි මණ්ඩල ජාලය විසින් සංවිධානය කරන ලදී.

බිම්ස්ටෙක් සංවිධානයේ වත්මන් සභාපතිත්වය දරන රට ලෙස ශ්‍රී ලංකාව, බිම්ස්ටෙක් ප්‍රඥප්තිය අවසන් කිරීම ඇතුළුව, සංවිධානයේ ආයතනික ව්‍යුහය සහ එහි පදනම ශක්තිමත් කිරීම සහ ආංශික සහ උප ආංශික හවුල්කාරිත්ව තාර්කිකකරණය සඳහා, එහි නිල කාලය තුළ දී කටයුතු කර ඇති අතර, සාමාජික රටවල් අතර මෙම නිර්වචනය කළ ප්‍රදේශ වෙන් කිරීම මඟින් බිම්ස්ටෙක් සංවිධානයේ අනාගත ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය වැඩි දියුණු කරනු ඇති බව තානාපතිතුමිය පැවසුවාය.

සාමාජික රටවල ආර්ථිකයන් ඇතුළුව සාමාන්‍ය ජීවිතයේ සෑම අංශයකටම බලපාන මෙම කොවිඩ්-19 සෞඛ්‍ය වසංගත සමය තුළදී, තාක්‍ෂණය, සෞඛ්‍ය හා මානව සම්පත් සංවර්ධනය යන උප අංශ සමඟ විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදන සඳහා ප්‍රමුඛ රට ලෙස නව්‍ය තාක්‍ෂණික ක්‍රම භාවිතය පිළිබඳ සිය යෝජනා ඉදිරිපත් කිරීමට සහ ශ්‍රී ලංකාවේ බිම්ස්ටෙක් තාක්‍ෂණ හුවමාරු පහසුකම (TTF) පිහිටුවීමට හා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව තානාපතිනි ජයසූරිය මැතිනිය පැවසුවාය.

ලොව විශාලතම මුහුදු බොක්ක වන බෙංගාල බොක්ක වටා පිහිටි බිම්ස්ටෙක් සංවිධානයේ රටවල් හත, සහල් මත පදනම් වූ සංස්කෘතියක සිට විචිත්‍රවත් ශිෂ්ඨාචාරයක් දක්වා හවුල් ඉතිහාසයන් සහ සංස්කෘතීන් අගය කරන නමුත්, ඔවුහු ස්වෛරී ජාතීන් ලෙස සිය අද්විතීය අනන්‍යතා පවත්වා ගන්නා අතර, සාමාජික රටවල් හතෙහි මෙම විවිධත්වය හා සුවිශේෂත්වය බිම්ස්ටෙක් සංවිධානයේ ශක්තිය වන බව ඇය තවදුරටත් කියා සිටියාය.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා තහවුරු කර වසර 65 ක් සපිරෙන බැවින්, මෙම උත්සවය 2020 නොවැම්බර් 20 වන දිනට තවදුරටත් සැමරීමට අවශ්‍ය බව තානාපතිවරිය පැවසුවාය.

ලබන වසර ආරම්භයේ දී, මෙම සංවිධානයේ නායකත්වය ශ්‍රී ලංකාව විසින් තායිලන්තයට භාර දෙන විට, තායිලන්තයේ නායකත්වය යටතේ, බිම්ස්ටෙක් සංවිධානයේ මීළඟ වටයේ දී විශාල ප්‍රගතියක් අත්කර ගත හැකි බව ශ්‍රී ලංකාව විශ්වාස කරන බව ඇය පැවසුවාය.

මෙම අවස්ථාවට බිම්ස්ටෙක් රටවල් හතේම තානාපතිවරු සහ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයෝ සහභාගී වූ අතර, බිම්ස්ටෙක් සංවිධානය පිළිබඳ අදාළ රටවල අදහස් බෙදාහදා ගත්හ. තානාපති කාර්යාලයේ කාර්යය මණ්ඩල ප්‍රධානී පූර්ණිමා ගුණසේකර මහත්මිය ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සම්බන්ධීකරණය කළාය. ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය, ලංකා තේ ඇතුළු ආහාර පාන සහ කුළුබඩු වැනි දෑ ප්‍රවර්ධනය කිරීම සඳහා තානාපති කාර්යාලයේ කාර්යය මණ්ඩලය විශේෂ ශ්‍රී ලංකා කුටියට එක්වූ අතර, ඒවා තායිලන්ත මහජනතාවගෙන් උසස් පිළිගැනීමට ලක් විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
බැංකොක්

2020 නොවැම්බර් 30 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close