ඕමාන් සුල්තාන් රාජ්‍යය හා ශ්‍රී ලංකාව  අවබෝධතා ගිවිසුමකට සූදානම්

ඕමාන් සුල්තාන් රාජ්‍යය හා ශ්‍රී ලංකාව  අවබෝධතා ගිවිසුමකට සූදානම්

ශ්‍රී ලංකාව සහ ඕමාන සුල්තාන් රාජ්‍යය අතර උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීමට දෙරට එකඟතාවකට පැමිණ තිබේ. ඕමාන සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා හා එරටේ  උසස් අධ්‍යාපන විද්‍යාත්මක පර්යේෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය රහ්මා බින්ටි ඉබ්‍රාහිම් බින් සයිඩ් අල්- මහ්රොව්කියා මහත්මිය හමු වූ අවස්ථාවේදී මෙම එකඟතාවට පැමිණ ඇත. ඉකුත් 15 දා මෙම හමුව සිදුව ඇති අතර එහිදී ඕමාන සුල්තාන් රාජ්‍යයේ සුල්තාන් කබූස් විශ්වවිද්‍යාලයට ශ්‍රී ලාංකික විද්වතුන් විසින් ලබා දෙන ලද දායකත්වය පිළිබඳවද අමාත්‍ය අල්-මහ්රොව්කියා මහත්මිය ප්‍රශංසා කළාය. දෙරටේ උසස් අධ්‍යාපන ආයතන අතර සම්බන්ධතා ඇති කර ගත හැකි ක්‍රම සහ විධි මෙන්ම, දෙරටේ විශ්වවිද්‍යාලවල පීඨ සාමාජිකයින් සහ සිසුන් අතර හුවමාරු වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද මෙම හමුවේදී සාකච්ඡා වී ඇත.

සුල්තාන් හයිතම් බින් තරික් උතුමාණන් විසින් මෑතක දී ආචාර්ය රහ්මා බින්ට් ඉබ්‍රාහිම් බින් සයිඩ් අල්-මහ්රොව්කියා මැතිනිය ඕමාන් සුල්තාන් රාජ්‍යයේ උසස් අධ්‍යාපන, විද්‍යාත්මක පර්යේෂණ සහ නවෝත්පාදන අමාත්‍යවරිය ලෙස පත් කරන ලදී. එතුමිය මීට පෙර මස්කට්හි සුල්තාන් කබූස් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන හා විද්‍යාත්මක පර්යේෂණ පිළිබඳ නියෝජ්‍ය උපකුලපතිතුමිය ලෙස සේවය කළාය. සුල්තාන් කබූස් විශ්වවිද්‍යාලයේ, කලා හා සමාජ විද්‍යා විද්‍යාලයේ, ඉංග්‍රීසි භාෂා හා සාහිත්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරියක් ලෙස ද එතුමිය සේවය කර තිබේ.

තානාපති කාර්යාලයේ පළමු ලේකම් ඩබ්.ඩී.එන්.එම්. අබේසේකර මහත්මිය ද මෙම රැස්වීමේ දී තානාපතිවරයා සමඟ එක්විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
මස්කට්

2020 නොවැම්බර් 30 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close