නිත්‍ය නියෝජිත මජින්ත ජයසිංහ මැතිතුමා එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ (UNIDO) අධ්‍යක්ෂ ජනරාල් ලී යොං මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

නිත්‍ය නියෝජිත මජින්ත ජයසිංහ මැතිතුමා එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ (UNIDO) අධ්‍යක්ෂ ජනරාල් ලී යොං මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා 2020 දෙසැම්බර් 22 වන දින වියානා ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ දී එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ (යුනිඩෝ (UNIDO)) අධ්‍යක්ෂ ජනරාල් ලී යොං මහතා වෙත එම සංවිධානය සඳහා ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ලෙස සිය අක්තපත්‍ර පිළිගැන්වීය.

අධ්‍යක්ෂ ජනරාල්වරයා ශ්‍රී ලංකාව පිළිබඳ සිය සුහද මතකයන් බෙදාහදා ගත් අතර, යුනිඩෝ හවුල්කාරිත්ව ව්‍යාපෘති යටතේ විශේෂයෙන් පරිසර සංරක්ෂණය, දේශගුණික විපර්යාස ක්‍රියාමාර්ග සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සවිබල ගැන්වීම යන අංශයන්හි ලබා ඇති ප්‍රගතිය අගය කළේය. ලී යොං මහතා 2021 වර්ෂය සඳහා යුනිඩෝ හි දැක්ම සහ ඩිජිටල් තාක්ෂණයන්, කෘතිම බුද්ධිය සහ අලුතින් නැගී එන තාක්ෂණයන් ප්‍රවර්ධනය කිරීම සඳහා සංවිධානයේ ක්‍රියාකාරී සැලැස්ම බෙදාහදා ගත් අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා නව මායිම් සකස් කරමින් ශ්‍රී ලංකාවේ කර්මාන්ත අංශය සංවර්ධනය කිරීම සඳහා පූර්ණ සහය හා සහයෝගය සහතික කළේය.

අතිගරු ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයට, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ සහ හරිත තාක්‍ෂණයන් සඳහා ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය තුළ ඉහළ මට්ටමේ සූදානමක් සහ ප්‍රවණතාවක් ඇති කිරීමේ අරමුණින් යුතුව, ජාතික කර්මාන්ත සංකීර්ණය සංවර්ධනය කිරීම ඇතුළත් වන බව තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා විස්තර කළේය.

තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා යුනිඩෝ සංවිධානය මඟින් ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන කාර්යයන් තවදුරටත් පැසසුමට ලක් කළ අතර, මෙම සංවිධානයේ සියල්ල ඇතුළත්, ස්පෘශ්‍ය හා පුළුල් ව්‍යාපෘති සහ වැඩසටහන් සමඟ හවුල් වීමට ජාතික කර්මාන්ත අංශයේ වර්ධනය වන අභිලාෂය සහ දිනෙන් දින වර්ධනය වන උනන්දුව පිළිබඳ තොරතුරු බෙදා හදා ගත්තේය. වේගයෙන් වෙනස් වන කර්මාන්ත භූ දර්ශනය සමඟ හැඩ ගැසීමේ අරමුණින් යුතුව, යුනිඩෝ සමඟ ඉහළම මට්ටමේ සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ පවතින සූදානම පිළිබඳව ද තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා ප්‍රකාශ කළේය.

තානාපති මජින්ත ජයසිංහ මැතිතුමාගේ යෝජනාව පිළිගත් අධ්‍යක්ෂ ජනරාල්වරයා, නවීන, නවතම සංවර්ධනයෙන් යුතු, ඔරොත්තු දෙන සහ තිරසාර කර්මාන්ත ඇති කිරීම පිණිස ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා සංවිධානයේ පූර්ණ සහයෝගය යළි අවධාරණය කළේය. කර්මාන්ත උද්‍යාන, පුනර්ජනනීය බලශක්ති අංශය, ප්‍රතිචක්‍රීකරණය සහ ජෛව ස්කන්ධ හැසිරවීම, ජල පවිත්‍රකරණය සහ භූගත අපද්‍රව්‍ය කළමනාකරණය වැනි හරිත තාක්ෂණයන් සඳහා අරමුදල් ලබා ගැනීම පිණිස ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරන බවට අධ්‍යක්ෂ ජනරාල්වරයා සහතික විය.

දූත මණ්ඩලයේ ආසියා සහ පැසිෆික් කලාපීය සම්බන්ධීකරණ අංශයේ වැඩසටහන් නිලධාරී ප්‍රකාශ් මිස්රා මහතා, තානාපති කාර්යාලයේ උපදේශක චරිත වීරසිංහ මහතා සහ දෙවැනි ලේකම් මහේෂ් මහකුමාරගේ මහතා ද මෙම උත්සවයට සහභාගී වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය
වියානා

2020 දෙසැම්බර් 23 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close