නැවත නැවත 210 වතාවක් පැළදිය හැකි මුහුණු ආවරණ 300,000 ක් සිංගප්පූරුවෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයට පරිත්‍යාග කරයි

නැවත නැවත 210 වතාවක් පැළදිය හැකි මුහුණු ආවරණ 300,000 ක් සිංගප්පූරුවෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයට පරිත්‍යාග කරයි

 සිංගප්පූරුවේ ටෙමාසෙක් පදනම ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය වෙත ලිවිංගාර්ඩ් මුහුණු ආවරණ 300,000 ක් පරිත්‍යාග කළේය.

මෙම මුහුණු ආවරණ තොගය ඉකුත්දා ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය (SASA) වෙත භාර දෙන ලද අතර, ඒවා සාමාන්‍ය ජනතාව සමඟ සමීපව කටයුතු කරන ඉදිරි පෙළ ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය නිලධාරීන් අතර බෙදා හැරීමට අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් ශෂිකලා ප්‍රේමවර්ධන මැතිනිය විසින් ටෙමාසෙක් ජාත්‍යන්තර පදනමේ ප්‍රධාන විධායක නිලධාරී බෙනඩික්ට් චෙයොන්ග් මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ටෙමාසෙක් පදනම විසින් මෙම පරිත්‍යාගය සිදු කරනු ලැබීය.

දෙරට අතර සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් ලෙස සිංගප්පූරුවේ සහ ඉන් ඔබ්බෙහි භාවිතා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඇඟලුම් සමූහ ව්‍යාපාරයක් වන මාස් හෝල්ඩින්ග්ස් ආයතනය විසින් ලිවිංගාර්ඩ් මුහුණු ආවරණ නිෂ්පාදනය කරනු ලැබේ. නිෂ්පාදකයාට අනුව, පේටන්ට් බලපත්‍ර ලත් ප්‍රතිවෛරස තාක්ෂණය භාවිතයෙන් මෙම මුහුණු ආවරණ නිපදවනු ලබන අතර, ඒවා 210 වතාවක් නැවත භාවිතා කළ හැකිය.

ගෝලීය විලාසිතා සන්නාමයන්ගේ විශ්වාසය දිනාගත් උසස් තත්ත්වයේ ඇඟලුම් ආචාරධර්ම වලට අනුව නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තය ලොව පුරා ප්‍රබල කීර්තියක් ලබා තිබේ. ශ්‍රී ලංකාවේ ඇඟලුම් හා රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වඩාත්ම වැදගත් හා ක්‍රියාකාරී දායකත්වය ලබා දෙන අතර, වසංගතය අතරතුර දී මුහුණු ආවරණ සහ පෞද්ගලික ආරක්ෂක උපකරණ ඇතුළු පෞද්ගලික ආරක්ෂක ඇඳුම් සහ උපකරණ නිෂ්පාදනය වෙත සාර්ථකව මාරුවීම තුළින් එහි ක්‍රියාශීලී බව හා අනුවර්තනය වීමේ හැකියාව පෙන්නුම් කළේය.

ටෙමාසෙක් පදනම මීට පෙර ශ්‍රී ලංකා රජයේ කොවිඩ්-19 වසංගතයට එරෙහි සටනට සහාය වෙමින්, ලිවිංගාර්ඩ් මුහුණු ආවරණ මිලියනයක්, ෆෝටිටියුඩ් පීසීආර් පරීක්ෂණ කට්ටල විශාල ප්‍රමාණයක්, ඔක්සිජන් සාන්ද්‍රක 50 ක්, රෙස්මෙඩ් බයිපැප් වෙන්ටිලේටර් උපකරණ 50 ක්, මෙට්‍රොට්‍රොනික් වෙන්ටිලේටර් උපකරණ 25 ක් සහ පෞද්ගලික ආරක්ෂක උපකරණ ඇතුළු භාණ්ඩ ශ්‍රී ලංකා රජයට පරිත්‍යාග කළේය.

2009 ඔක්තොබර් මස සිට ටෙමාසෙක් පදනම ශ්‍රී ලංකාවේ තනි රටක වැඩසටහන් 14 ක් පවත්වා ඇත. මෙම වැඩසටහන්, අධ්‍යාපන, සෞඛ්‍ය සේවා සහ තවත් බොහෝ අංශවල වෘත්තිකයින්ගේ ධාරිතා වර්ධනය සඳහා හේතු වී තිබේ. මෙම වැඩසටහන් සඳහා ශ්‍රී ලාංකිකයන් 1618 දෙනෙක් සහභාගී වී ඇති අතර, සහභාගිවන්නන්ගේ මුළු සංඛ්‍යාව හාරදහසක් ඉක්මවයි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය
සිංගප්පූරුව

2021 අප්‍රේල් 20 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close