තායි අග්‍රමාත්‍ය ස්‍රේට්ඨා තවිසින් මහතා සිය ශ්‍රී ලංකා නිල සංචාරය සාර්ථකව නිමා කරයි

තායි අග්‍රමාත්‍ය ස්‍රේට්ඨා තවිසින් මහතා සිය ශ්‍රී ලංකා නිල සංචාරය සාර්ථකව නිමා කරයි

තායිලන්ත රාජධානියේ අග්‍රාමාත්‍ය ස්‍රේට්ඨා තවිසින් මහතා 2024 පෙබරවාරි 3-4 යන දිනවල යෙදුණු සිය ශ්‍රී ලංකා නිල සංචාරය සාර්ථක ලෙස නිමා කළේය.

ශ්‍රී ලංකාවේ 76 වැනි නිදහස් සමරුවේ ගෞරවනීය ආරාධිතයා ලෙස සහභාගී වීම සඳහාත් ශ්‍රී ලංකා-තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් තැබීම නිරීක්ෂණය කිරීම සඳහාත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය තවිසින් මහතා ශ්‍රී ලංකාවට පැමිණ තිබිණි. මීට අමතරව, දෙපාර්ශ්වය, 1950 වසරේදී දෙරට අතර අත්සන් තැබුණු ගුවන් සේවා ගිවිසුම අලුත් කළ අතර මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. තායි අග්‍රාමාත්‍යවරයා සමඟ එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා වාණිජ අමාත්‍යවරයා, නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා, විදේශ ලේකම්වරයා හා තායි රජයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නියෝජිතයෝ මෙන්ම ඉහළ පෙළේ ව්‍යාපාරික නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කළහ.

ශ්‍රී ලංකාවට පැමිණි තායි අග්‍රාමාත්‍යවරයා සහ ඉහළ පෙළේ නියෝජිත පිරිස, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය තාරක බාලසූරිය සහ විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන යන මහත්ම මහත්මීන් විසින් ගුවන්තොටුපොළේදී උණුසුම් ලෙස පිළිගනු ලැබූහ. ජනාධිපති ලේකම් කාර්යාලයේදී තායිලන්ත අග්‍රාමාත්‍යවරයා වෙත ශ්‍රී ලංකා ගුවන්හමුදාව මඟින් හමුදා උත්තමාචාර පිරිනැමුණු අතර ඉන් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි.

තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ වාණිජ අමාත්‍ය ඵූම්තාම් වෙචයචායි සහ  ශ්‍රී ලංකාවේ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් ඓතිහාසික ශ්‍රී ලංකා-තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තබනු ලැබීම තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ සහ ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ නිරීක්ෂණයට ලක් විය. දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා වර්ධනය කිරීම සඳහා මෙම නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් ශක්තිමත් පිටුවහලක් ලැබෙනු ඇතැයි අපේක්ෂිතය.

ශ්‍රී ලංකා-තායිලන්ත බහුවිධ සබඳතා මෙන්ම කලාපීය හා බහුපාර්ශ්වික සංසදවලදි රටවල් දෙක එකිනෙකා වෙත දක්වන සහයෝගය ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී සමාලෝචනය කෙරිණි. විශේෂයෙන්ම, ධීවර, කෘෂිකර්ම, පුනර්ජනනීය බලශක්ති, හරිත බලශක්ති, සංචාරක, සත්කාරක හා ආහාර සැකැසුම් වැනි ඉලක්කගත අංශවල දෙරට අතර ආයෝජන ප්‍රවර්ධනය කිරීම මෙහිදී විශේෂ අවධානයට ලක් විය.

දෙරට අතර සම්බන්ධකතාව ප්‍රවර්ධනය කිරීම සඳහා, අන්‍යෝන්‍ය පදනමින් වීසා රහිතව දෙරට අතර සංචාරයට පහසුකම් සැලැසීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට දෙපාර්ශ්වය එකඟ විය. 2024 මාර්තු 31 වැනිදා සිට තායි ගුවන් සේවය බැංකොක් නුවර සහ කොළඹ අතර සිය දෛනික වාණිජ ගුවන්ගමන් යළි ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය තවිසින් මහතා ප්‍රකාශ කළේය. මෙම ප්‍රධාන පියවර දෙකෙන්, දෙරට අතර අන්තර් පුද්ගල සබඳතාවලට මෙන්ම වෙළෙඳ, සංචාරක හා ආයෝජන සබඳතාවලට තවදුරටත් පහසුකම් සැපයෙනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

ථෙරවාද බුදුසමයෙන් සවිමත් වන පොදු ඓතිහාසික හා සංස්කෘතික සබඳතා පිළිබඳව අවධානය යොමු කළ දෙපාර්ශ්වය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ආගමික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ගිවිස ගත්හ.

සාමුද්‍රීය සම්බන්ධකතාව විෂයෙහි, තායි බිම් සේතු ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකාවේ වර්තමාන වරාය සංවර්ධන වැඩකටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි.  ශ්‍රී ලංකාවේ සහ තායිලන්තයේ භූක්‍රමෝපායික පිහිටීම් සම්බන්ධයෙන් සලකා බලන කල, සාමුද්‍රීය සම්බන්ධකතාව වැදගත් අනාගත සහයෝගිතා ක්ෂේත්‍රයක් වශයෙන් සැලැකිල්ලට ගැනිණි.

ශක්නුතා වර්ධනය, ප්‍රවීණතාව බෙදාහදා ගැනීම සහ ශ්‍රී ලාංකික නිලධාරීන් පුහුණු කිරීම ඔස්සේ වසර ගණනාවක් තිස්සේ තායිලන්ත ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (ටයිකා) විසින් ලබා දෙන ලද සහය වෙනුවෙන් ජනාධිපති වික්‍රමසිංහ මහතා තායිලන්ත රජයට සිය ස්තුතිය පිරිනැමීය.

දෙරට අතර ආරක්ෂක සහයෝගිතාව ශක්තිමත් කිරීමේ සහ ජාතික දේශසීමා ඉක්මවා යන සංවිධිත අපරාධ මැඬපැවැත්වීමේ වැදගත්කම මෙම හමුවේදී අවධාරණය කෙරිණි.

බිම්ස්ටෙක්, අයොරා සහ ආසියාන් කලාපීය සංසදය ඇතුළු කලාපීය හා බහුපාර්ශ්වීය සංසදවලත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළත් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින විශිෂ්ට සහයෝගිතාව, දෙරට අතර අඛණ්ඩව පවතින ශක්තිමත් සබඳතාවල පිළිබිඹුවකි.

මෙම සංචාරය අතරතුරදී, අග්‍රාමාත්‍ය තවිසින් මහතා සහ ජනාධිපති වික්‍රමසිංහ මහතා කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැති ශ්‍රී ලංකා-තායිලන්ත ව්‍යාපාරික සංසදය ඇමතූහ. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව සමඟ සහක්‍රියා ගොඩනැංවීම කෙරෙහි ඇති සිය දැඩි උනන්දුව ප්‍රදර්ශනය කරමින් ආහාර සැකැසුම්, සෞඛ්‍ය, බලශක්ති, සත්කාරක, සංචාරක, ධීවර, කෘෂිකර්ම හා නිෂ්පාදන අංශ නියෝජනය කරන තායිලන්ත සමාගම් විසි එකක නියෝජිතයන් ඇතුළත් ඉහළ පෙළේ ව්‍යාපාරික නියෝජිත පිරිසක්ද ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.

වෙළෙඳාම, ආයෝජන, සංචාරක කර්මාන්තය හා සම්බන්ධකතාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින්, සහයෝගිතා ක්ෂේත්‍ර විවිධාංගීකරණයට ලක්කිරීමට රටවල් දෙකේ රජයන් තුළ ඇති ශක්තිමත් අරමුණ තායි අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයෙන් ඉස්මතු වෙයි.

සිය සංචාරය අවසන් කොට ශ්‍රී ලංකාවෙන් පිටව යන අග්‍රාමාත්‍ය ස්‍රේට්ඨා තවිසින් මහතාට සහ නියෝජිත පිරිසට, විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි මහතා ගුවන්තොටුපොළේදී උණුසුම් ලෙස සමු දුන්නේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 පෙබරවාරි 04 වැනිදා

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close