තාක්ෂණික සහයෝගිතාව සහ ධාරිතා වර්ධනය තුළින් ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර ද්විපාර්ශ්වික සහයෝගිතාව වැඩිදියුණු කිරීම

 තාක්ෂණික සහයෝගිතාව සහ ධාරිතා වර්ධනය තුළින් ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර ද්විපාර්ශ්වික සහයෝගිතාව වැඩිදියුණු කිරීම

ශ්‍රී ලංකාවේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ද සහභාගීත්වය ඇතිව, ශ්‍රී ලාංකිකයන් සඳහා ස්ත්‍රී- පුරුෂ සමාජභාවය ප්‍රධාන ධාරාවට යොමු කිරීම පිළිබඳ තාක්ෂණික සහ ධාරිතා වර්ධන වැඩසටහනක් 2021 සැප්තැම්බර් 16 වැනි දින පිලිපීනයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුව - පිලිපීන තාක්ෂණික සහයෝගිතා කවුන්සිලය (DFA-TCCP) විසින් සංවිධානය කෙරිණ.

දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට 60 වසරක් සපිරීම නිමිත්තෙන්, ද්විපාර්ශ්වික සහයෝගිතාව වැඩිදියුණු කරගැනීම සඳහා DFA-TCCP විසින් මෙහෙයවනු ලබන වැඩසටහන් මාලාවේ එක් පුහුණු වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන හඳුනාගත හැකි ය.  ස්ත්‍රී-පුරුෂ සමාජභාවය හා සංවර්ධනය (GAD) පිළිබඳ මූලික සංකල්ප, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය ප්‍රධාන ධාරාවට යොමු කිරීම (GM), ස්ත්‍රී-පුරුෂ සමාජභාවය විශ්ලේෂණය කිරීම (GA) සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය සඳහා අනුකූලවන ලෙස අයවැය සැකසීම යනාදිය ඇතුළත් අධ්‍යයන සැසි මෙම පුහුණු වැඩසටහන තුළ අන්තර්ගත විය.

පිළිගැනීමේ කතාව සිදු කළ DFA-TCCP හි විකල්ප සභාපතිනි ලිලිබත් ඩිපේරා මහත්මිය, ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවයේ වැදගත්කම සහ සමාජය තුළ ස්ත්‍රී-පුරුෂභාවය ප්‍රධාන ධාරාවට යොමු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව විස්තර කළා ය. ස්ත්‍රී-පුරුෂ සමාජභාවය සමස්තයක් වශයෙන් ප්‍රධාන ධාරාවට යොමු කිරීම සඳහා රටවල් විසින් ප්‍රමුඛතා පදනමක් යටතේ 5 වැනි තිරසාර සංවර්ධන ඉලක්කය ක්‍රියාවට නැංවීම පිළිබඳව අවධාරණය කළ එතුමිය, මෙවැනි ඵලදායී වැඩසටහනක් සංවිධානය කිරීම සඳහා තානාපති කාර්යාලය දැරූ සහයෝගී ප්‍රයත්න සහ ශ්‍රී ලංකාවේ රේඛීය අමාත්‍යංශවලින් ලබා දුන් අඛණ්ඩ සහය ඇගයීමට ලක් කළා ය.

ආරම්භක කතාව සිදු කළ පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ශෝබිනී ගුණසේකර මහත්මිය, තිරසාර සංවර්ධන අභිලාෂ මඟින්  සහ ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා වූ ජාතික ප්‍රතිපත්ති රාමුව වන ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව ළඟා කරගැනීමට ශ්‍රී ලංකාව කැප ව සිටින බව විස්තර කළා ය. 1931 වසරේ දී සර්වජන ඡන්ද බලය හිමි කරගත් ප්‍රථම රට ශ්‍රී ලංකාව බවත්, 1960 වසරේ දී ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මෙරටින්  තේරී පත්වූ බවත් පැවසූ තානාපතිවරිය, මේ වන විටත් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගමනය පිළිබඳව අදහස් දැක්වූවා ය. තවද, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආර්ථිකය සහ දේශපාලනය ආදී ක්ෂේත්‍රවල කාන්තා නියෝජනය පුළුල් කරමින් කාන්තා අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකාව පියවර රැසක් ගෙන ඇති බව ද ප්‍රකාශ කළාය.

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කුමාරි ජයසේකර මහත්මිය, මෙම විෂය කරුණ සම්බන්ධයෙන් ගැඹුරු අවබෝධයක් ලබා දීම සඳහා සංවිධානය කෙරුණු සවිස්තරාත්මක පුහුණු වැඩසටහන දියත් කළ DFA-TCCP ආයතනයට තම කෘතඥතාව පළ කළා ය.

සැසි තුනක් යටතේ පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයෙන් සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් රේඛීය අමාත්‍යාංශවලින් 30 දෙනෙකු සහභාගී වන අතර, එම වැඩසටහන 2021 ඔක්තෝබර් 11 වැනි දින සමාප්ත වීමට නියමිත ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මැනිලා

2021 ඔක්තෝම්බර් 01 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close