ත්‍රස්තවාදයට සහය නොදෙන බව බ්‍රිතාන්‍ය හා කැනඩාව සහතික වෙයි

ත්‍රස්තවාදයට සහය නොදෙන බව බ්‍රිතාන්‍ය හා කැනඩාව සහතික වෙයි

ත්‍රස්ත ක්‍රියාකාරකම් හෝ ත්‍රස්තවාදය තම රටවල් නොඉවසන බවත් මෑතකදී සිදු කෙරුණු රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරකම් ඔවුන්ගේ නිල ස්ථාවරයෙහි වෙනසක් පිළිබිඹු නොකරන බවත් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය හා ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩි මැකිනන් මහතා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී ප්‍රකාශ කළහ. පෙරේදා හා ඊයේ දෙදින කොමසාරිස්වරු දෙදෙනා වෙන වෙනම ඇමතිවරයා හමු වී මේ බව සඳහන් කළහ. ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කරන තම  රජයන්හි ප්‍රබල ස්ථාවරය මහ කොමසාරිස්වරු ඇමතිවරයාට දැනුම් දුන්හ.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඇතුළු එල්ටීටීඊ සංවිධානයේ ත්‍රස්තවාදී ක්‍රියා උත්කර්ෂයට නැංවීමේ නිරතව සිටින රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් විසින් පසුගිය සති කිහිපය තුළ දී එම ක්‍රියාකාරකම්වල වැඩි වැඩියෙන් නිරතවන බව පෙනී යන සන්දර්භය තුළ, රටවල ආරක්ෂාව පිළිබඳ අන්‍යෝන්‍ය වශයෙන් සැලකිලිමත් වීම පිළිබඳව අමාත්‍යවරයා කොමසාරිස්වරුන්ගේ අවධානය යොමු කළේය. නව පරපුරේ යෞවනයන්ගේ හා ළමුන්ගේ රැඩිකලීකරණය සඳහා හේතු විය හැකි, ත්‍රස්ත ප්‍රචාරක කටයුතු සඳහා ළමුන් යොදා ගැනීම පිළිබඳව මෙම රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු කෙරිණි.

එක්සත් රාජධානියේ සහ කැනඩාවේ ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස තහනම් කර ඇති එල්ටීටීඊය යළි නැගිටීම වැළැක්වීම සහතික කිරීම සඳහා වූ කැපවීම ඇතුළුව, ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය අරගලය කෙරෙහි අඛණ්ඩව කැපවීම පිළිබඳව අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා රාජ්‍යතාන්ත්‍රිකයන්ට ස්තූතිය පුද කළේය.

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් වීම නිසා ශ්‍රී ලංකාව, එක්සත් රාජධානිය සහ කැනඩාව අතර සබඳතා ගැඹුරින් මුල් බැස ගත්, ස්ථීර හා පුළුල් පරාසයක පවතින ඒවා වන අතර, අඛණ්ඩ සමීප සහයෝගීතාව පිළිබඳව එතුමා විශ්වාසය පළ කළේය. කොවිඩ්-19 එන්නත පිළිබඳ පුවත් සාදරයෙන් පිළිගන්නා අතරම, ගෝලීය වසංගතයේ සන්දර්භය තුළ පුරවැසියන්ට සහය දැක්වීම සඳහා රටවල් දරන හවුල් ප්‍රයත්න සහ ආර්ථික සංවර්ධනය හා පුරවැසියන්ගේ යහපැවැත්මට සහාය වීම සඳහා යළි සකසන ලද වැඩසටහන් පිළිබඳව ද සාකච්ඡා පැවැත්විණි.

විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම රැස්වීමට අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා සමඟ එක් විය.

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2020 දෙසැම්බර් 09 වැනි දින

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close