කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍යවරයා 2020 දෙසැම්බර් 08 වැනි දින පැවති ‘දේශ සීමා හරහා සිදු කෙරෙන ආරම්භයන් සහ නවෝත්පාදන ක්‍රියාත්මක කිරීම’ උත්සව අංගයේ දී අදහස් පළ කරයි

කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍යවරයා 2020 දෙසැම්බර් 08 වැනි දින පැවති ‘දේශ සීමා හරහා සිදු කෙරෙන ආරම්භයන් සහ නවෝත්පාදන ක්‍රියාත්මක කිරීම’ උත්සව අංගයේ දී අදහස් පළ කරයි

  සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරාධනයටඅනුව, කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා විසින් ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීම පිළිබඳ 50 වැනි සංවත්සරය සැමරීම සඳහා 2020 දෙසැම්බර් 08 වැනි දින ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සමඟ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB-SP) ඒකාබද්ධ හවුල්කරුවෙකු ලෙස ජීබී කොමියුනිටි ඩිවෙලොප්මන්ට් ලිමිටඩ් ආයතනය (GBCDL) සහ ගෝලීය තාක්ෂණ නවෝත්පාදන ගම්මානය හා සිංගප්පූරු පොලිටෙක්නික් (GTiV) ආයතනය ඒකාබද්ධව සංවිධානය කරන ලද ‘දේශසීමා හරහා සිදුකෙරෙන ආරම්භයන් සහ නවෝත්පාදන ක්‍රියාත්මක කිරීම’ (‘Switching on Cross Border Start Ups & Innovation’) නම් උත්සව අංගය සඳහා කලින් පටිගත කරන ලද ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලදී.

වර්ෂ 1950 දී දෙරට අතර විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීමෙන් පසු වසර ගණනාවක් තිස්සේ සමෘද්ධිමත් වී ඇති ශක්තිමත් සබඳතා පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා සිය අදහස් දැක්වීමේ දී යළි අවධාරණය කළේය. තවද, වෙළඳ, ආයෝජන, සංස්කෘතික හා අධ්‍යාපන සබඳතා පුළුල් කිරීමේ වැදගත්කම පිළිබඳව සඳහන් කළ එතුමා, ඉදිරි වසරවල දී ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර සුහදතාවය තවදුරටත් පුළුල් වනු ඇතැයි අපේක්ෂාව පළ කළේය.

එසේම, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය සඳහා ලබා දෙන ආධාර වෙනුවෙන් සිංගප්පූරු රජය වෙත කෘතඥතාව පළ කිරීමට ද රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා මෙහි දී අවස්ථාව සලසා ගත්තේය.

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2020 දෙසැම්බර් 09 වැනි දින

...........................................

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා ගැනීම පිළිබඳ 50 වැනි සංවත්සරය නිමිත්තෙන් කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා 2020 දෙසැම්බර් 08 වැනි දින පවත්වනු ලබන දේශනය

තානාපතිවරුනි,
සම්භාවනීය අමුත්තනි,
නෝනාවරුනි මහත්වරුනි,
ආයුබෝවන්!

ආරම්භයේදීම, ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා ගැනීම පිළිබඳ 50 වැනි  සංවත්සරය සැමරීම සඳහා පවත්වනු ලබන ‘දේශසීමා හරහා සිදු කෙරෙන ආරම්භයන් සහ නවෝත්පාදනක්‍රියාත්මක කිරීම’ නම් වූ උත්සව අංගයට මාගේ සුබ පැතුම් පිරිනැමීමට කැමැත්තෙමි.

මෙම වැදගත් අවස්ථාව සඳහා පෞද්ගලිකව සහභාගී වීමට නොහැකි වුවද, මෙම පටිගත කරන ලද සුබ   පැතුම් පණිවිඩය තුළින් ඔබ සියලු දෙනා සමඟ එක්ව මෙම අවස්ථාව සැමරීමට ලැබීම සතුටට කරුණකි.

රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා ගත් දින සිටම, දෙපාර්ශ්වයේම ඒකාබද්ධ ප්‍රයත්නයන් සමඟ, ශ්‍රී ලංකා -සිංගප්පූරු සබඳතා, කාලය පිළිබඳ පරීක්ෂණයට හා ගෝලීය දේශපාලනයේ නිතර වෙනස්වන තත්ත්වයන්ට ඔරොත්තු දී තිබේ. අප දෙරට අතර ඉහළ මට්ටමේ හුවමාරු හා සහයෝගීතාව නිරන්තරයෙන් සිදුවීම පිළිබඳව මම සතුටුවෙමි. සංස්කෘතිය, අධ්‍යාපනය, වෙළඳාම සහ ආයෝජන වැනි පුළුල් විෂයය පරාසයක සමීප සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා මෙය ඉවහල් වී තිබේ.

ඉදිරි වසර කිහිපය තුළ දී අපේ දෙරට අතර මිත්‍රත්වය හා සහයෝගීතාවය අඛණ්ඩව වර්ධනය හා ශක්තිමත්වන බව මම විශ්වාස කරමි. කොවිඩ්-19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව සිදු කළ අරගලයේ දී කොවිඩ්-19 පරීක්ෂණ කට්ටල, කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර සහ පුද්ගලික ආරක්ෂක උපකරණ ඇතුළු සෞඛ්‍ය ආරක්ෂක සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමෙන් ලබා දුන් අගනා සහය පිළිබඳව සිංගප්පූරු රජයට ස්තූති කිරීම සඳහා මම මෙය අවස්ථාවක් කර ගනිමි.

මගේ අදහස් දැක්වීම අවසන දී, ශ්‍රී ලංකා-සිංගප්පූරු සබඳතා තවදුරටත් වර්ධනය වේවායි මම ප්‍රාර්ථනා කරමි.  අපගේ ද්විපාර්ශ්වික සබඳතාවය වැඩි දියුණු කිරීම සඳහා පෞද්ගලිකව දායක වීමට මම අපේක්ෂා කරමි.

ස්තුතියි.

The full video can be viewed at  : https://youtu.be/mG_50umdPsA

Print Friendly, PDF & Email
Please follow and like us:

Close