ඩකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය ශ්‍රී ලංකාවේ ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය සමඟ පවත්නා සහයෝගීතාව ඉහළ නැංවීමට සැරසෙයි

ඩකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය ශ්‍රී ලංකාවේ ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය සමඟ පවත්නා සහයෝගීතාව ඉහළ නැංවීමට සැරසෙයි

ඩකා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකාවේ ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සහ ඩකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (DCCI) සමඟ එක්ව, දෙරටේ වෙළඳ මණ්ඩල අතර වැඩි දියුණු කළ සංවාද පැවැත්වීම සමඟින් ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආර්ථික සහයෝගීතාව  වර්ධනය කිරීමේ ක්‍රමවේද සාකච්ඡා කිරීමේ අරමුණින් 2022 ජූලි 27 වැනි දින වෙබිනාර් සාකච්ඡාවක් සංවිධානය කළේ ය.

මෙම වෙබිනාර් සාකච්ඡාව අතරතුර සිය අදහස් පළ කළ මහ කොමසාරිස් මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න මැතිතුමා,  මෙවැනි කාලෝචිත වැඩපිළිවෙළක් මඟින් දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික වෙළෙඳ කටයුතු මෙන්ම ආයෝජන, සංචාරක ව්‍යාපාරය සහ නාවික ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවල සහයෝගිතාව ඉහළ නැංවීමට මග සැලසෙන බව පෙන්වා දුන්නේ ය. ශ්‍රී ලංකාවේ පවතින වත්මන් ආර්ථික තත්ත්වය යහපත් ප්‍රතිලාභ ලබා දෙන මට්ටමකට ගෙන ඒම සඳහා ආයතනික අංශයට එය ධනාත්මක ලෙස හැරවිය හැකි ආකාරය මහ කොමසාරිස්වරයා විසින් වැඩිදුරටත් පැහැදිලි කරන ලදී.

මෙම සාකච්ඡාව මෙහෙයවූ NCE හි මහලේකම් ශිහාම් මරික්කාර් මහතා සහ DCCI හි මහලේකම් අෆ්සරුල් අරිෆීන් මහතා,  බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක කළ හැකි ශක්‍යතා සහිත ව්‍යාපාරික අවස්ථා හඳුනාගැනීම සඳහා සැලැස්මක් සකස් කළහ. කාලරාමුවක් සහ පසු විපරම් වෙබිනාර් සාකච්ඡාවක් සමඟින් පැවැත්වීමට නියමිත  ක්‍රියාකාරකම් ගණනාවක් දෙපාර්ශ්වය විසින් යෝජනා කරන ලදී.

නියෝජ්‍ය මහ කොමසාරිස් රුවන්ති දෙල්පිටිය මහත්මිය සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රථම ලේකම් (වාණිජ්‍ය) ශ්‍රීමාලි ජයරත්න මහත්මිය මෙම සාකච්ඡාව සඳහා සහභාගී විය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ඩකා

2022 ජූලි 29 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close