ටොරොන්ටෝ හි  ශ්‍රී වරසිත්ති විනායගර් හින්දු කෝවිලේ පැවති වාර්ෂික රථ මංගල්‍යය

ටොරොන්ටෝ හි  ශ්‍රී වරසිත්ති විනායගර් හින්දු කෝවිලේ පැවති වාර්ෂික රථ මංගල්‍යය

2022 ජූලි 23 වැනි දින ශ්‍රී වරසිත්ති විනායගර් හින්දු කෝවිලේ පැවති වාර්ෂික රථ මංගල්‍යයට ටොරොන්ටෝ හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය සහභාගී විය. කොන්සල් කාර්යාලය මෙම අවස්ථාවට සහභාගී වූයේ ශ්‍රී වරසිත්ති විනායගර් හින්දු කෝවිලේ ප්‍රධාන පූජකතුමාගේ සහ එහි භාරකාර මණ්ඩලයේ ඇරයුමකට අනුවය.

මෙම උත්සවය සඳහා  ශ්‍රී ලාංකික කැනේඩියානු දමිළ ජාතිකයන් 10,000 කට අධික පිරිසක් සහභාගී විය. එම පිරිසට, ඔවුන්ගේ ජනගහනයේ හරස්කඩක් නියෝජනය කරන ඉහළ පෙළේ ව්‍යාපාරික ප්‍රජාව ද ඇතුළත් විය. එමෙන්ම, මෙම උත්සවය සඳහා කැනඩාවේ ප්‍රාදේශීය දේශපාලනික ප්‍රභූවරුන් කිහිප දෙනෙකු සහ කැනඩාවේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් සහභාගී වූහ. කැනඩාවේ සංස්කෘතික විවිධත්වය සහ සමාජ-ආර්ථික සංවර්ධනය සඳහා ශ්‍රී ලාංකික කැනේඩියානු දමිළ ප්‍රජාව දක්වන දායකත්වය කැනේඩියානු දේශපාලන නායකයන්ගේ පැසසුමට ලක් විය. විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව ගත් කල, ලොව විශාලතම දමිළ ජනගහනයක් වෙසෙන රට බවට කැනඩාව පත්ව ඇති බවද ඔවුහු අවධාරණය කළහ.

ශ්‍රී ලාංකික කැනේඩියානු දමිළ ප්‍රජාව සිය බහු සංස්කෘතික උරුම හා සබැඳි අවස්ථා සමඟ සිදු කරන ඵලදායී නිරතවීම්වල පිළිබිඹුවක් ලෙස මෙම උත්සවය හඳුනාගත හැකිය. ටොරොන්ටෝ හි කොන්සල් ජනරාල් කාර්යාලය ශ්‍රී ලාංකික කැනේඩියානු ප්‍රජාවට කොන්සියුලර් සහ අනෙකුත් සේවාවන් සපයන අතර, ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහය දැක්වීමේ අරමුණින් ඔවුන් සමඟ පවත්නා නිර්මාණාත්මක සංවාදය අඛණ්‌ඩව ක්‍රියාත්මක කරයි.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

ටොරොන්ටෝ

2022 ජූලි 28 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close