ජකර්තා හි දී පැවති 13 වැනි බාලි ප්‍රජාතන්ත්‍රවාදී සංසදයේ දී සාර්ථක ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ පුරවැසියන්ගේ සෞඛ්‍ය සහතික කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අවධාරණය කරයි

ජකර්තා හි දී පැවති 13 වැනි බාලි ප්‍රජාතන්ත්‍රවාදී සංසදයේ දී සාර්ථක ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ පුරවැසියන්ගේ සෞඛ්‍ය සහතික කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අවධාරණය කරයි

කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මැතිතුමා, 13 වැනි බාලි ප්‍රජාතන්ත්‍රවාදී සංසදය (BDF) අමතමින් ශ්‍රී ලංකාවේ සහ කලාපයේ පුරවැසියන්ගේ සෞඛ්‍යය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම අවධාරණය කළේය. “ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම: කොවිඩ්-19 වසංගතය” යන මාතෘකාව යටතේ 2020 දෙසැම්බර් 10 වැනි දින පැවති අමාත්‍යවරුන්ගේ මණ්ඩලයේ දී එතුමා මේ බව පැවසීය. කොවිඩ්-19 වසංගතය වැළැක්වීම හා එලෙස පවත්වාගෙන යාම පිණිස රටවල රාජ්‍ය ප්‍රතිපත්ති බෙදාහදා ගැනීම කෙරෙහි මෙම අමාත්‍යවරුන්ගේ මණ්ඩලය අවධානය යොමු කළේය.

මෙම සංසදය සංවිධානය කිරීම සඳහා ඉන්දුනීසියාව විසින් පියවර ගැනීම පිළිබඳව අගය කරන අතරම, ආසියා පැසිෆික් කලාපය සඳහා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම පිණිස සහයෝගයෙන් කටයුතු කිරීමේ පොදු අරමුණ සඳහා තනි තනිව හා සාමූහිකව දායක වීමට කැපවීම පිළිබඳව ඉන්දුනීසියානු රජයට රාජ්‍ය අමාත්‍යවරයා ස්තූතිය පුද කළේය.

කොවිඩ්-19 වසංගතයෙහි ව්‍යාප්තිය අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව සමබර, බහු ආංශික ප්‍රවේශයක් අනුගමනය කළ බවත්, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් කෙරෙහි එහි කැපවීම පවත්වාගත් බවත්, 2020 අගෝස්තු මාසයේ දී පාර්ලිමේන්තු මැතිවරණය සාර්ථකව හා සාමකාමීව පැවැත්වූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය. රාජ්‍යයක පුරවැසියන්ගේ සෞඛ්‍යය යනු, සියල්ල ඇතුළත් ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කුළුණක් බව ශ්‍රී ලංකාව විශ්වාස කරයි. එබැවින්, ජාත්‍යන්තර ප්‍රජාව අතර සංවාදයක් හා සහයෝගීතාවයක් ගොඩ නැඟීම සඳහා බාලි ප්‍රජාතන්ත්‍රවාදී සංසදයට සැබෑ අරමුණක් ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා නැවත අවධාරණය කළේය. සිය අත්දැකීම් සහ යහපත් පිළිවෙත් සෙසු ජාතීන් සමඟ බෙදා ගැනීමටත්, මේ සඳහා ඔවුන් සමඟ එක්සත්ව කටයුතු කිරීමටත් ශ්‍රී ලංකාව තවදුරටත් සහයෝගය ලබා දෙන බවට සහතික විය.

බාලි ප්‍රජාතන්ත්‍රවාදී සංසදයෙහි පැවති සාකච්ඡාවල දී, ඉදිරියේ ඇති ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික අවපාතය සහ වර්ධනය වන සැක සංකා පිළිබඳ අභියෝග, අර්බුදයක් තුළ දී විවිධාංගීකරණය වූ අංශ කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය සහ අර්බුදකාරී කාලවල දී ඔරොත්තු දීමේ හැකියාව පවත්වා ගෙන යාම සහ එතුළින් සමාජය තුළ ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදයක් හා යුක්තියක් සඳහා දායක වීම පිළිබඳව ද අවධානය යොමු විය.

ආසියා පැසිෆික් කලාපයේ ප්‍රගතිය කරා යන රාජ්‍යතාන්ත්‍රික ව්‍යුහයක් නිර්මාණය කිරීම සඳහා 2008 දී ආරම්භ කරන ලද බාලි ප්‍රජාතන්ත්‍රවාදී සංසදය, දැන් වාර්ෂික ආසියා පැසිෆික් සංසදයක් දක්වා වර්ධනය වී තිබේ. පසුගිය දශකය තුළ දී මෙම සංසදය, අත්දැකීම් බෙදාහදා ගැනීම තුළින් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පහසුකම් සපයන ලද අතර, විවිධත්වය කළමනාකරණය කිරීම, සමානාත්මතාවය, අන්‍යෝන්‍ය අවබෝධය සහ ගෞරවය දිරි ගැන්වීම සඳහා ද කටයුතු කළේය. මෙම වසරේ බාලි ප්‍රජාතන්ත්‍රවාදී සංසදය, ඉන්දුනීසියානු ජනරජයේ ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මැතිතුමා සහ ඉන්දුනීසියානු ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය රෙට්නෝ එල්. පී. මාසුඩි මැතිතුමා විසින් සමාරම්භ කරන ලද අතර, අමාත්‍ය මට්ටමේ මණ්ඩල 10 කින් යුක්තව ලොව වටා රටවල් 33 ක් ඊට සහභාගී විය.

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2020 දෙසැම්බර් 10 වැනි දින

.........................................

13 වැනි බාලි ප්‍රජාතන්ත්‍රවාදී සංසදයේ අමාත්‍යවරුන්ගේ මණ්ඩලයේ දී ‘ප්‍රජාතන්ත්‍රවාදය සහ කොවිඩ්-19 වසංගතය’ පිළිබඳව කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය ගරු තාරක බාලසූරිය මැතිතුමා පැවැත් වූ දේශනය 2020 දෙසැම්බර් 10 වැනි දින

ගරු සභාපතිතුමනි,
සම්භාවනීය නියෝජිතවරුනි.

පළමුවෙන්ම, මෙම බලවත් ගෝලීය ගැටළුව පිළිබඳව සාකච්ඡා පැවැත්වීම සඳහා මෙම අන්‍තර්ජාලය හරහා 13 වැනි බාලි ප්‍රජාතන්ත්‍රවාදී සංසදය කැඳවීම පිළිබඳව ඉන්දුනීසියානු ජනරජයේ රජයට සහ එහි විදේශ අමාත්‍යාංශයට සුබ පැතීමට මට අවසර දෙන්න. කොවිඩ්-19 වසංගතය විසින් එල්ල කරන ලද අභියෝග මධ්‍යයේ වුවද, මෙම උත්සවය සංවිධානය කිරීම සඳහා ඉන්දුනීසියාව දැරූ ප්‍රයත්න, ආසියා පැසිෆික් කලාපයේ සිය හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් යුතුව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා එහි පවතින කැපවීම මැනවින් පෙන්නුම් කරයි. මෙම සාකච්ඡාවල ප්‍රතිඵල, මෙම වැදගත් මාතෘකාව පිළිබඳ සංවාදය අඛණ්ඩව ප්‍රවර්ධනය කරනු ඇතැයි මම විශ්වාස කරමි.

මෙම වසංගතයේ බලපෑම විවිධ මුහුණුවරවලින් යුක්ත වන අතර, එය ගෝලීය පරිමාණයේ ආර්ථික, සමාජීයීය හා සෞඛ්‍ය ආරක්ෂණ අර්බුදයක් නිර්මාණය කරයි.

මෙම වසංගතයේ බලපෑමෙන් ශ්‍රී ලංකාව ආරක්ෂා වී නොමැත. මෙම වෛරසය මැඩ පැවැත්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ පිළිගන්නා අතරම, ශ්‍රී ලංකා රජයේ මූලික අවධානය යොමු වී ඇත්තේ විශේෂයෙන් මෙම වසංගතයේ බලපෑමට වඩාත්ම ගොදුරු විය හැකි අය ඇතුළුව, එහි පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සහ යහපැවැත්ම සහතික කිරීම සඳහා ය.

මෙම ප්‍රතිපත්තිය අනුගමනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන්ට ඉතා සූක්ෂම ලෙස සැලසුම් කිරීමට පමණක් නොව, තීරණාත්මක ක්‍රියාමාර්ග ගැනීමටද සිදුවිය. ආශ්‍රිතයන් සොයා යෑමේ ක්‍රමවේදයක් සහ දැඩි පරීක්ෂණ පද්ධතියක් සමඟ, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් විසින් කොවිඩ්-19 රෝගීන් හුදෙකලා කිරීම සහ ප්‍රතිකාර කිරීම මඟින් මෙම වෛරසයේ ව්‍යාප්තිය සාර්ථකව කළමනාකරණය කර ඇත. මහජන සෞඛ්‍ය පද්ධතියකින් අනුපූරක වෙමින්, 1951 සිට මෙරට තුළ ක්‍රියාත්මක වන නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතිය, මෙම වැඩසටහනේ සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය වී තිබේ.

මෙම වසංගතය කළමනාකරණය කිරීම සඳහා සෞඛ්‍ය සේවා පද්ධතිය සඳහා ආයෝජනය කිරීමටත්, අනාගතයේදී එවැනි සෞඛ්‍ය අර්බුදයන්ට මුහුණ දීමට සූදානම් වීමටත් ශ්‍රී ලංකාව මෙම අර්බුදය අවස්ථාවක් කරගෙන තිබේ.

මෙම වසංගතයේ සෞඛ්‍යමය බලපෑම්වලින් ඔබ්බට, මෙම අර්බුදය හේතුවෙන් සිදුවන ආර්ථික බිඳ වැටීම කෙරෙහි කෙටිකාලීන හා දිගුකාලීන වශයෙන් හදිසි අවධානයක් අවශ්‍ය බව පැහැදිලිය. ආසියා පැසිෆික් කලාපයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා මෙය විශේෂයෙන් වැදගත් වේ.

අපගේ ප්‍රජාවන්හි වඩාත්ම අවදානමට ලක්ව ඇති අය ආරක්ෂා කර ඔවුන්ගේ අනාගතය සුරක්‍ෂිත බව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඔවුන්ගේ ආර්ථික හා සමාජ අයිතිවාසිකම් ඉදිරියට ගෙන යාම අරමුණු කර ගනිමින් විවිධ ප්‍රතිපත්ති සම්පාදනය කර තිබේ. අඩු ආදායම්ලාභී පවුල්, වැඩිහිටියන්, ආබාධිත පුද්ගලයින්, දෛනික වැටුප් උපයන්නන්, ගොවීන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායවල පාර්ශ්වකරුවන් හට ඉදිරි අභියෝගයන්ට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කර ගැනීම සඳහා සහය වීම මෙයට ඇතුළත් වේ.

සම්භාවනීය නියෝජිතවරුනි, නෝනාවරුනි, මහත්වරුනි,

ප්‍රජාතන්ත්‍රවාදය, ජාතීන්ගේ ප්‍රගතිය සඳහා පරිපූර්ණ සූත්‍රයක් සපයන, අත්හදා බලන ලද සහ පරීක්ෂා කළ පද්ධතියක් ලෙස පවතී. සාමය, සමෘද්ධිය සහ මානව සුභසාධනය සමෘද්ධිමත් වනුයේ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින විට බව සියලු දෙනාම දන්නා කරුණකි. මෙම අසීරු කාලවල දී ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සාර්ථක ලෙස භාවිතා කිරීම සඳහා, ඒවා සාමාන්‍ය කාලවල දී සමෘධිමත් ලෙස පැවතිය යුතු බව සිහි තබා ගැනීම වැදගත් වේ.

පෙර නොවූ විරූ කාල පරිච්ඡේදයක් ලෙස පමණක් හැඳින්විය හැකි වර්තමාන සන්දර්භය තුළ, නිමක් නොමැති අනෙකුත් කරුණු අතර, සෞඛ්‍යාරක්ෂාව, පුද්ගලික නිදහස, අධ්‍යාපනය, රැකියාව සහ වෙළඳාම වෙත එල්ල වන පීඩනය ඉතා දැඩිය.

මෙම අර්බුදයේ සෞඛ්‍ය හා ආර්ථික ගැටලු සමඟ රටවල් පොර බදන විට, ගමන් කිරීමේ සහ ආශ්‍රය කිරීමේ නිදහස ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික මූලධර්ම, සමාජයේ යහපත සඳහා නොදැනුවත්වම සීමා විය හැකිය. මෙවැනි කාලවල දී, ප්‍රජාතන්ත්‍රවාදී ජාතීන් වශයෙන් අප මෙම සීමාවන් තාවකාලික බව සිහි තබා ගත යුතු වන අතර, මෙතෙක් අපව හොඳ ස්ථාවරයක තබා ඇති ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වෙනුවෙන් පෙනී සිටිය යුතුය.

වර්තමාන තත්ත්වය මඟින් අපගේ ප්‍රජාතන්ත්‍රවාදය වෙත එල්ල වන ගැටළු පිළිබඳව සලකා බලන විට, අපගේ සියලු ජාතීන්ට අදාළ වන ‘සියල්ලන්ටම ගැළපෙන එක් ආකාරයක’ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් නොමැති බව වටහා ගැනීම අත්‍යවශ්‍ය වේ. සමාජ, සංස්කෘතික මෙන්ම, භූගෝලීය ගුණාංග ලෙස පවා අපේ සමාජවල පවත්නා විවිධ ස්වභාවයන් සැලකිල්ලට ගනිමින්, ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ක්‍රියාත්මක කිරීම සෑම රටක් සඳහාම සුවිශේෂී වේ. මෙය අපගේ අනෙකුත් සියලු වෙනස්කම් මෙන් සියලු දෙනාම විසින් අවබෝධ කර ගත යුතු හා ගරු කළ යුතු දෙයක් බව මම විශ්වාස කරමි.

මෙම වසංගතය සඳහා එන්නත් සංවර්ධනය කිරීම පිළිබඳ දියුණුව සම්බන්ධයෙන් පවතින ධනාත්මක පුවත් සමඟ, සාමාන්‍ය තත්ත්වයට නැවත පැමිණීම අපේක්ෂාවෙන් ලෝකය බලා සිටී.

මෙම සංසදය මගින් නිදර්ශනය කර ඇති පරිදි, විශේෂයෙන් කලාපීය මට්ටමින් සහයෝගීතාව සහ හවුල්කාරිත්වය අගය කරන ජාතීන් වන අප, මෙම එන්නත් ලබා ගැනීම සඳහා ජාතීන් විසින් යත්න දරන විට ඇති විය හැකි අසමානතාවයන් වළක්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. මෙම එන්නත්, සැමට ලබා ගත හැකි සහ දැරිය හැකි මිලකට පැවතිය යුතුය. එබැවින්, සෑම රටකටම මෙම අත්‍යවශ්‍ය එන්නත ලබා ගැනීමටත්, කිසිවෙකු අත හැර නොයාමටත්, සම්බන්ධීකරණය වූ ප්‍රවේශයක් අනුගමනය කරන බවට අප සහතික විය යුතුය.

එසේ කටයුතු කිරීම තුළින්, ජීවිත මෙන්ම, අප අතරින් සමහරෙකුට නොව, සැම වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු පද්ධතියක් වන ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ සාරය ද ආරක්ෂා කරනු ඇත.

ස්තූතියි.

The full video can be viewed at: https://youtu.be/5nd9t5svSzk

Print Friendly, PDF & Email
Please follow and like us:

Close