"ගෝලීය වසංගතය මධ්‍යයේ වුවද, තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ඉහළ ස්ථානයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත": විදේශ ලේකම්වරයා තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ 5 වැනි දකුණු ආසියානු සංසදයේ දී ප්‍රකාශ කරයි

“ගෝලීය වසංගතය මධ්‍යයේ වුවද, තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ඉහළ ස්ථානයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත”: විදේශ ලේකම්වරයා තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ 5 වැනි දකුණු ආසියානු සංසදයේ දී ප්‍රකාශ කරයි

පසුගිය අඟහරුවාදා (16/11) දින කොළඹ දී පවත්වන ලද තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ 5 වැනි දකුණු ආසියානු සංසදයේ ප්‍රධාන දේශනය පැවැත්වූ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා, 2021 වර්ෂයේ තිරසාර සංවර්ධන වාර්තාවට අනුව ශ්‍රී ලංකාව කොවිඩ්-19 වසංගතය හේතුවෙන් එල්ල වූ අභියෝග හමුවේ වුවද ගෝලීය ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ස්ථාන 07 කින් ඉදිරියට පැමිණ ඇති බවත්, මේ වන විට රටවල් 165 අතරින් 87 වැනි ස්ථානයේ පසුවන බවත් ප්‍රකාශ කළේ ය. රජය විසින් තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා ලබා දී  ඇති ප්‍රමුඛතාවය ඉස්මතු කළ එතුමා, ගෝලීය මට්ටමේ අභිලාෂ සාක්ෂාත්  කර ගැනීම අරමුණු කරගත් ශ්‍රී ලංකාව,  සිය ජාතික සංවර්ධන ඉලක්ක සකස් කොට ඇති බව සඳහන් කළේ ය. තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ප්‍රයත්නයේ ජාතික සන්දර්භය, ප්‍රමුඛතා සහ පවතින තත්වයන් සැලකිල්ලට ගන්නා ශ්‍රී ලංකාව, වැඩි අවධානය යොමු කෙරෙන මැදිහත්වීම් සහ සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග අවශ්‍ය ක්ෂේත්‍රවල ප්‍රගතිය වේගවත් කිරීම සඳහා කැපවූ වේදිකා ස්ථාපිත කර ඇති බව පැවසී ය.

තිරසාර සංවර්ධන ඉලක්ක සම්බන්ධයෙන් ප්‍රගතියක් අත්කර ගැනීමේ දී කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මතුව ඇති සමාජ-ආර්ථික බලපෑම් දකුණු ආසියානු කලාපයට එල්ල වන විශාලතම අභියෝගය බවත්, ඒ අනුව සංවර්ධනය සඳහා ප්‍රමාණවත් සහ තිරසාර මූල්‍ය වැඩපිළිවෙළක් තහවුරු  කිරීම අභියෝගයක් වන  බවත් විදේශ ලේකම්වරයා පෙන්වා දුන්නේ ය. වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව සිය ආර්ථිකය නැවත ගොඩනඟමින් සිටින බැවින්, තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා පරිවර්තනීය මාර්ග සොයා ගැනීමේ අරමුණින් ජාත්‍යන්තර සහයෝගීතාවයේ නිරතව සිටීමට සහ එය වර්ධනය කිරීමට ශ්‍රී ලංකාව තුළ ඇති නොසැලෙන කැපවීම විදේශ ලේකම්වරයා යළි තහවුරු කළේ ය.

එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසමේ (UNESCAP) දකුණු හා නිරිතදිග ආසියානු කාර්යාලය, ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන කවුන්සිලය සහ විදේශ අමාත්‍යංශය එක්ව සංවිධානය කරන ලද මෙම සංසදය, "2020 වර්ෂයේ න්‍යාය පත්‍රය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම කඩිනම් කරමින් කොවිඩ්-19 හමුවේ වඩාත් ශක්තිමත්ව නැගී සිටීම” යන තේමාව යටතේ  පැවැත්විණි. වසංගතය අතරතුර ශ්‍රී ලංකාව තුළ පවත්වන ලද  ප්‍රථම ජාත්‍යන්තර වැඩසටහන වූ මෙම වැඩසටහනට රටවල් 6 කින් නියෝජිතයන් 36 දෙනෙකු, ESCAP හි දකුණු සහ නිරිතදිග ආසියානු කාර්යාලයේ නිලධාරීන්, ශ්‍රී ලංකාවේ සිටින එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, සිවිල් සමාජයේ අයවලුන්, චින්තකයන්, විශේෂඥ පිරිස් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ. 2030 වර්ෂයේ න්‍යාය පත්‍රය සහ කලාපීය මාර්ග සිතියම  ක්‍රියාවට නැංවීමේ දී මතුවන ප්‍රධාන අභියෝග සහ අවස්ථා පිළිබඳ අවබෝධය වැඩිදියුණු කිරීමට සහ අත්දැකීම් සහ දැනුම බෙදාගැනීම තුළින් උප කලාපීය න්‍යාය පත්‍රයට අනුපූරක වීමට මෙම වැඩසටහන තුළින් අවස්ථාව උදා විය.

විදේශ අමාත්‍යංශය

කොළඹ

2021 නොවැම්බර් 19 වැනි දින

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close