කොළඹ සිටින ඊජිප්තු තානාපතිවරයා සමුගනී

කොළඹ සිටින ඊජිප්තු තානාපතිවරයා සමුගනී

ඊජිප්තු අරාබි ජනරජයේ නික්ම යන තානාපති හුසේන් අබ්දෙල්හමීඩ් එල් සහාර්ටි මැතිතුමා 2021 ඔක්තෝබර් 21 වැනි දින විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමාගෙන් සමුගත්තේය.

සිය ධූර කාලය තුළ දී තානාපති සහාර්ටි මැතිතුමා ලබා දුන් දායකත්වය අගය කළ පීරිස් මැතිතුමා, ශ්‍රී ලංකාව ද ක්‍රියාකාරී සාමාජිකයෙකු වන නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය තුළ ඊජිප්තුව ඉටු කරන මෙහෙවර කෘතඥතා පූර්වකව සිහිපත් කළ අතර, වර්තමාන ලෝකය තුළ නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය සතු වටිනාකම්වල අදාළත්වය ද ඇගයීමට ලක් කළේ ය.

දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා කෙරෙහි අවධානය යොමු කළ අමාත්‍යවරයා, ඊජිප්තුවේ තේ ලෝලීන් අතර ලංකා තේ  ප්‍රමුඛස්ථානයක් ලබා ඇති හෙයින් සහ සංචාරක හා වෙළඳ යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දෙරටෙහි ප්‍රවීණත්වය සැලකිල්ලට ගනිමින් එම ක්ෂේත්‍රවලට අදාළව දෙරටෙහි සහයෝගිතාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේ ය. පසුගිය වසරේ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව ඊජිප්තුවට ආනයනය කරන ලද ලංකා තේ පරිමාව ඉහළ ගොස් ඇති බව සඳහන් කළ තානාපතිවරයා, උනන්දුවක් දක්වන අනෙකුත් අංශවල ද්විපාර්ශ්වික වෙළෙඳාම වැඩිදියුණු කිරීම සඳහා මාර්ග සහ ක්‍රමවේද ගවේෂණය කරන බවට සහතික විය.‍

ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ ප්‍රවර්ධනය සඳහා රජය දරන උත්සාහය ප්‍රශංසාවට ලක් කරමින්, පොදු විවාදයේ දී මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාචික යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දුන් ඊජිප්තු අරාබි ජනරජය වෙත අමාත්‍ය පීරිස් මැතිතුමා සිය බලවත් කෘතඥතාව පිරිනැමී ය. ත්‍රස්තවාදයට සහ අන්තවාදයට එරෙහිව සටන් කිරීම සම්බන්ධයෙන් ඊජිප්තුව සතු අත්දැකීම් හුවමාරු කරගත් ඊජිප්තු තානාපතිවරයා, ජාතික අභිලාෂ සුරක්ෂිත කිරීම සඳහා සමාන අදහස් ඇති ජාතීන් දෙකක් ලෙස එක්ව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

නව රජය විසින් ස්ථාපිත කරන ලද අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය සහ ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලයේ කටයුතු අඛණ්ඩව කරගෙන යාම තුළින් ගැටලු විසඳීම, ජනතාව වෙත ළඟාවීම මෙන්ම ප්‍රතිසන්ධාන හා සංක්‍රාන්ති යුක්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජය පවත්වාගෙන යාමට අපේක්ෂා කරන ස්ථාවරය පිළිබිඹු වන බව පැවසූ අමාත්‍යවරයා, රාජ්‍යවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම සඳහා ව්‍යාජ හේතුවක් ලෙස තෝරා  ගත් මානව හිමිකම් යොදා ගැනීමෙන් ඉහත සඳහන් කළ අව්‍යාජ ප්‍රයත්න අසාර්ථක කිරීමට ඉඩ නොතැබිය යුතු බව අවධාරණය කළේ ය.

කයිරෝ හි විදේශ අමාත්‍යාංශයේ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ නියෝජ්‍ය සහකාර අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිත තානාපති සහාර්ටි මැතිතුමාට අමාත්‍යවරයා සිය සුබ පැතුම් එක් කළේ ය.

විදේශ අමාත්‍යංශය

කොළඹ

2021 ඔක්තෝබර් 06 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close