කොරියා පුවත්පත් සම්මේලන සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට හරසර

කොරියා පුවත්පත් සම්මේලන සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට හරසර

අන්තර්ජාතික මිත්‍රශීලීත්වය, රාජ්‍යතාන්ත්‍රිකත්වය සහ කොරියානු ජනරජය සහ දෙරටේ ජනතාව අතර සුහදත්වය සහ ශ්‍රි ලංකාව අතර අන්‍යොන්‍ය ජාතික සංවර්ධනය ප්‍රවර්ධනය හා අභිවර්ධනය වෙනුවෙන් කොරියා පුවත්පත් සම්මේලනය සහ සියොල් නගරයේ ප්‍රධානතම මාධ්‍ය ආයතනය වන සියොල් පුවත්පත් සමාජය එක්ව පැවැත්වූ සම්මාන උළෙලේදී කොරියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය ඒ. සාජ් යූ. මෙන්ඩිස් මහතා වෙත සම්මානයක් පිරිනමන ලදී. කොරියානු පුවත්පත් සම්මේලනය සංවිධානය කර තිබූ මෙම සම්මාන ප්‍රදාන උත්සවයට  එරට ජාතික රාජ්‍ය සභාවේ මන්ත්‍රිවරුන් (පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්), තානාපති නිලධාරීන් සහ කොරියානු ජනරජයේ ප්‍රමුඛ පෙළේ පුවත්පත් ආයතන ප්‍රධානීන්, ව්‍යාපාරිකයන් මෙන්ම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතනවල පුවත්පත් කලාවේදීන් රැසක් සහභාගි වූහ. අන්තර්ජාතික මිත්‍රශීලීත්වය, රාජ්‍යතාන්ත්‍රිකත්වය සහ කොරියානු ජනරජය සහ දෙරටේ ජනතාව අතර සුහදත්වය සහ ශ්‍රි ලංකාව අතර අන්‍යෝන්‍ය ජාතික සංවර්ධනය ප්‍රවර්ධනය හා අභිවර්ධනය වෙනුවෙන් සිදු කර ඇති දායකත්වය ඇගැයීමට ලක් කරමින් කොරියානු ජනරජයේ ශ්‍රි ලංකා තානාපතිවරයාට  මෙම සම්මානය පිරිනමා තිබේ.

ඉහත සම්මානය ජ්‍යෙෂ්ඨ ජාතික රාජ්‍ය සභා මන්ත්‍රී ගරු කිම් හේජේ මහතා විසින් මෙන්ඩිස් මහතා වෙත පිරිනමන ලදී. සම්මාන ප්‍රදානෝත්සවයෙන් පසුව, සභාව ඇමතූ ආචාර්ය මෙන්ඩිස් මහතා පසුගිය දශක තුන තුළ ශ්‍රී ලංකාවේ  සංවර්ධනය සහ ප්‍රගමනය වෙනුවෙන් දැක්වූ උපකාරය සහ සහයෝගිතාවය වෙනුවෙන් කොරියානු ජනරජය වෙත සිය කෘතවේදීත්වය පළ කර සිටියේය. ශ්‍රී ලංකාවට බෙහෙවින් අවශ්‍යව තිබෙන විදේශ විනිමය ලබා දෙමින් ශ්‍රී ලාංකික වැසියන්/ සංක්‍රමණික සේවකයන් 22,000 කට අධික පිරිසක් කොරියානු ජනරජයේ සේවය කරමින් සැප පහසු ජීවිත ගෙන යන බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

කොරියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවක් සහභාගි වූ එම උත්සවයේදී දැනට ශ්‍රී ලංකාව බලා පිටත්ව ගොස් ආපසු පැමිණීමට නොහැකිව ශ්‍රි ලංකාවේ රැඳී සිටින කොරියාවේ සේවය කළ ශ්‍රී ලාංකික සේවකයන්ට පමණක් නොව කොරියානු භාෂා විභාගය සමත්ව අනෙකුත් සියලු අවශ්‍යතාවයන් ද සපුරා කොරියාවේ රැකියා අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන්ට කොරියානු ජනරජය වෙත පැමිණීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස මෙන්ඩිස් මහතා කොරියානු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන ලදී. කොරියානු ජනරජයේ සේවය කරන 22,000කට අධික ශ්‍රී ලාංකිකයන්ගෙන් කොවිඩ්-19 වැළැදී ඇත්තේ විසි දෙනෙකුට පමණ පිරිසකට පමණත් බව මෙන්ඩිස් මහතා පෙන්වා දුන්නේය. දැන් ශ්‍රී ලංකාවේ පවතින්නේ 1980 දශකයේ මැද භාගයේ කොරියාවේ පැවැති තත්ත්වයට සමාන තත්ත්වයක් බවත් ලොව දසවැනි විශාලතම ආර්ථිකය මෙන්ම ආසියාවේ සිව්වැනි විශාලතම ආර්ථිකය බවට පත්වෙමින් කොරියානු ජනරජය අත්තර ගත් ප්‍රගතිය හා සමාන ප්‍රගතියක් කරා ගමන් කිරීමට ශ්‍රි ලංකාව උපායමාර්ගිකව මැනවින් ස්ථානගත වී ඇති බැවින් ශ්‍රි ලංකාවේ ආර්ථික ප්‍රගමනයට දායකත්වය දක්වන ලෙස ඒ මහතා පැමිණ සිටි ව්‍යාපාරික අංශ ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින ලදී. ඊළඟ දශක දෙක තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික නැගී සිටීම “කැළණි නදියේ ප්‍රාතිහාර්යය” ලෙස හඳුන්වනු ලබනු ඇති බවට අනාවැකි පළ කළ මෙන්ඩිස් මහතා එය දකුණු කොරියාවේ “හැන් නදියේ ප්‍රාතිහාර්යය” සහ බටහිර ජර්මනියේ “රයින් නදියේ ප්‍රාතිහාර්යය” හා  සමාන වනු ඇතැයි පවසා සිටියේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
සෝල්

2021 මැයි 17 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close