එක්සත් ජාතීන්ගේ ගෝලීය ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ උපායමාර්ගයේ හත්වැනි ද්විවාර්ෂික සමාලෝචනය පිළිබඳ උපදේශන

එක්සත් ජාතීන්ගේ ගෝලීය ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ උපායමාර්ගයේ හත්වැනි ද්විවාර්ෂික සමාලෝචනය පිළිබඳ උපදේශන

එක්සත් ජාතීන් සඳහා ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත
මොහාන් පීරිස් මැතිතුමාගේ ප්‍රකාශය
2021 මාර්තු 05 වැනි සිකුරාදා දින
මහා සභා ශාලාව, එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය (පුද්ගලිකව)

සාමය කරදරකාරී පරිසරයක් ලෙස දකින අය ද අප අතර සිටීම කණගාටුවට කරුණක් බව එක්සත් ජාතීන් සඳහා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතා සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කෙළේ එක්සත් ජාතීන්ගේ ගෝලීය ත්‍රස්තවාදය මැඩ පැවැත්වීමේ උපාය මාර්ගයේ හත්වන ද්විපාර්ශ්වීය සමාලෝචන රැස්වීම අමතමින්ය. ඉකුත් 05 වනදා පැවැති මෙම රැස්වීමේදී පීරිස් මහතා පෙන්වා දී ඇත්තේ  සාමය යනු රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් නම් වූ ත්‍රස්තවාදයේ ඉත්තන් හරහා ක්‍රියාත්මක වන ඔවුන්ගේ භූ දේශපාලනික අභිලාෂයන් සඳහා පිළිකුල් සහගත කරුණක් බවයි. අද අප දකින්නේ වඩාත් නවීන කූටෝපායන් මගින් ත්‍රස්තවාදීන් අපේ රජයන්, සිවිල් සමාජ සංවිධාන, පෞද්ගලික අංශයේ ආයතන, ආගමික සංවිධාන, අධිකරණය සහ මානව ක්‍රියාකාරකම්වල සමස්ත දර්ශනය වෙත ප්‍රවේශ වී ඇති බව ද එතුමා සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ මොහාන් පීරිස් මහතාගේ සම්පූර්ණ ප්‍රකාශය පහත පරිදි වෙයි.

සභාපතිතුමනි,

ගෝලීය ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ උපායමාර්ගය පිළිබඳ හත්වැනි සමාලෝචනයේ සම පහසුකම් සපයන්නන් ලෙස ඔවුන් ඉටු කරන කදිම කාර්යභාරය පිළිබඳව ස්පාඤ්ඤයේ සහ ඕමානයේ නිත්‍ය නියෝජිතයින් වෙත මම ස්තූතිවන්ත වෙමි. මෙම උපායමාර්ගය ක්‍රියාත්මක කිරීමේ දී එක්සත් ජාතීන්ගේ පද්ධතිය මඟින් සිදුකරන ලද ක්‍රියාකාරකම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ සවිස්තර වාර්තාව පිළිබඳ ඉදිරිපත් කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ ත්‍රස්තවාදය පිළිබඳ කාර්යාලයේ එක්සත් ජාතීන්ගේ උප මහලේකම්වරයාට ස්තූතිවන්ත වෙමි.

අපි අද මෙම රැස්වීමේ ශාලාවේ දී රැස්වී, මෙම වඩාත්ම වැදගත් විෂයය පිළිබඳව සාකච්ඡා පවත්වන අවස්ථාවේ දී, අප අතරින් කීදෙනෙකු විසින් ත්‍රස්තවාදයේ සැබෑ භයානක ප්‍රතිඵල පෞද්ගලිකව හෝ වෙනත් ආකාරයකින් අත්විඳ තිබෙනු ඇත්දැයි මම කල්පනා කළෙමි. අප අතුරින් සමහරෙක් අනෙක් අයට වඩා එය අත්දැක තිබෙනු ඇත. එක්තරා කාලයක දී අප සමහරකගේ රටේ සෙසු පුරවැසියන්ට එය ජීවිතයේ කොටසක් බවට පවා පත්ව තිබුණා විය හැකි අතර, එය අපගේ සමහර සාමාජික රටවල අදටත් සිදුවිය හැකිය. අප මේ කථා කරන අවස්ථාවේ දී පවා, රැකියාවට යාමට පොදු ප්‍රවාහන සේවයකට ගොඩවීමේ බිය, ඔබේ දරුවා පාසලට යැවීමේ බිය, ඔබගේ ආදරණීයයන් ආරක්ෂිතව ආපසු නිවසට එන තෙක් කනස්සල්ලෙන් යුතුව බලා සිටීම සහ ඔබගේ එදිනෙදා කටයුතු බිය සැකෙන් තොරව සිදුකර ගැනීම පිළිබඳ හැකියාව අපගේ ලෝකයේ සමහර ස්ථානවල පවතින පොදු ගැටළුවකි.

සභාපතිතුමනි, ඔබේ සෙසු පුරවැසියන්ට ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් පිළිබඳ සහතිකයක් නොමැතිව ඔවුන්ගේ ජීවිත ගත කිරීමට නොහැකි වූ විට, වගකිවයුතු රජයක් විසින් ව්‍යවස්ථානුකූලව කළ යුතු කුමක්ද? එය විසින් ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද? ශ්‍රී ලංකා රජය මුහුණ දෙන ලද උභතෝකෝටිකය වූයේ මෙයයි. කෙතරම් ඉහළ වැයක් දරමින් හෝ, ඔවුන්ගේ අතිශය කුරිරු ත‍්‍රස්ත උපක්‍රම සඳහා වගකිව යුතු රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ගේ කණ්ඩායම ප්‍රජාතන්ත‍්‍රවාදී තලයට ගෙන ඒම සඳහා වසර 30 කට ආසන්න කාලයක් තිස්සේ අපගේ මැදිහත්කරුවන්ගේ ද සහාය ඇතිව සාම සාකච්ඡාවල සිට සටන් විරාම සඳහා යාන්ත්‍රණ රැසක මිශ්‍රණයක් උත්සාහ කර බැලුවෙමු. කනගාටුවට කරුණක් ලෙස මේ සියලු උත්සාහයන් අසාර්ථක විය. දිගින් දිගටම අහිංසක පිරිමින්, කාන්තාවන් සහ ළමයින් ත්‍රස්තවාදයට ගොදුරු වී,ඔවුන්ගේ ජීවිත අහිමි වූ අතර, පොදු දේපොළ අහිමි වීම ද අපි දුටුවෙමු.

පිටත අධිකරණ බලයේ සුවපහසුව තුළ හිඳගෙන මා කතා කරන විට දී පවා ඔවුන්ගේ විකෘති මතවාද ජනවාර්ගික රේඛා ඔස්සේ දිගින් දිගටම වෛරය අවුස්සමින් තිබිණ. අවසාන වශයෙන්, 2009 දී ශ්‍රී ලංකාවේ ජනතාව එම රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ගේ ග්‍රහණයෙන් මුදා ගත් මානුෂීය මෙහෙයුම ක්‍රියාවට නැංවීම හැර වෙනත් විකල්පයක් රජයට නොතිබුණි.

සභාපතිතුමනි, ශ්‍රී ලංකාව එම අඳුරු කාල සීමාවේ සිට බොහෝ දුරක් පැමිණ තිබේ. ඔබ ඒ ගැන සැබවින්ම සිතා බැලුව හොත්, දශක 03 කට ආසන්න කාලයක් තිස්සේ පැවති ත්‍රස්තවාදයේ පීඩාව දරාගත් රටක් ලෙස, අප අද සිටින ස්ථානයේ සිටීම පවා තරමක් දුරට විස්මයකි. අපගේ රට තුළ සාමය පවතී. එය සාර්ථකත්වය පිළිබඳ කථාවකි. හාස්‍යයට කරුණක් වන්නේ, සාමය කරදරකාරී පරිසරයක් ලෙස දකින අය ද අප අතර සිටීමයි. සාමය යනු රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් නම් වූ ත්‍රස්තවාදයේ ඉත්තන් හරහා ක්‍රියාත්මක වන ඔවුන්ගේ භූදේශපාලනික අභිලාෂයන් සඳහා පිළිකුල් සහගත කරුණකි. අද අප දකින්නේ වඩාත් නවීන කූටෝපායන් මගින් ත්‍රස්තවාදීන් අපේ රජයන්, සිවිල් සමාජ සංවිධාන, පෞද්ගලික අංශයේ ආයතන, ආගමික සංවිධාන, අධිකරණය සහ මානව ක්‍රියාකාරකම්වල සමස්ත දර්ශනය වෙත ප්‍රවේශ වී ඇති බවයි.කෙසේ වෙතත්, ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මකව පවතී. අභියෝග ද තවමත් පවතින බවට සැකයක් නැත. කෙසේ වෙතත්, ශ්‍රී ලාංකික ජනතාවගේ දරාගැනීමේ හැකියාව සහ රජයේ ශක්තිමත් නායකත්වය සමඟ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද සහයෝගය ඇතිව නීතියේ ආධිපත්‍යයට සහ මානව හිමිකම්වලට නිසි ගෞරවයක් දක්වමින් මෙම අභියෝගයන්ට අපි අඛණ්ඩව මුහුණ දෙන බවට අපි විශ්වාස කරමු.

මෙම ත්‍රස්ත කණ්ඩායම් අද කෙතරම් බලවත්ද යත්, අද අප නියෝජනය කරන ජාත්‍යන්තර සංවිධාන පවා එහා මෙහා කිරීමට, ත්‍රස්තවාදයට එරෙහි අපගේ අඛණ්ඩ සටන උදාසීන කිරීම සඳහා අපගේ මානව හිමිකම් යාන්ත්‍රණ වැනි අපගේම යාන්ත්‍රණ භාවිතා කිරීමට ඔවුන්ට ශක්තිය ඇත. අපට මානුෂික හදවත් ඇති බව ඔවුහු දනිති. එහෙත් ත්‍රස්තවාදීන් සහ අන්තවාදීන්ගේ තෝතැනි ඇති කිරීම සඳහා එවැනි මානුෂිකත්වය අවභාවිත කිරීමට අපට ඉඩ දිය නොහැක. අපට බල්ලන් සමඟ දඩයම් කරමින් සිටිය දී, හාවා සමඟ දුවන ලෙස ද පෙනී සිටීමට නොහැක.  ත්‍රස්තවාදයට අපගේ පණිවුඩය හඬනඟා පැහැදිලිව ලබා දිය යුතුය. එම පණිවුඩය පැහැදිලිවම ශුන්‍ය-ඉවසීමක් විය යුතු අතර, මානව හිමිකම් සඳහා වූ අපගේ කැපවීම, දේශපාලන න්‍යාය පත්‍රයක පදනම මත ව්‍යුහගතව ඇති ත්‍රස්තවාදී වැඩසටහන් පහසුවෙන් සනාථ කිරීම සඳහා වන අවස්ථාවක් නොවන බව ද සඳහන් කළ යුතුය.

මානව හිමිකම් පිළිබඳ නිසි දැනුමකින් යුතුව ත්‍රස්තවාදයට ප්‍රතිචාර දක්වනු ඇතැයි යන ප්‍රශංසනීය නිරීක්‍ෂණය අද උදෑසන මට ඇසුණි. එය අනුගමනය කළ යුතු පරම පරිශුද්ධ හා කදිම මූලධර්මයකි.

කෙසේ වෙතත්, ත්‍රස්තවාදයෙන් ආරක්ෂා වීම සඳහා මහජනතාවට මූලික අයිතියක් ඇති බවට බ්‍රිතාන්‍ය රජයේ හිටපු අමාත්‍යවරයෙකු වූ ගරු ඩේවිඩ් බ්ලන්කට් සාමිවරයා විසින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව වෙත කරන ලද ප්‍රකාශය පිළිබඳ සන්දර්භය හමුවේ, ත්‍ර්ස්තවාදයට එරෙහි අරගලය සහ මානව හිමිකම්වලට ගරු කිරීම යන කරුණු තුළ පැවතිය හැකි මෙම කදිම සමතුලිතතාවය සාක්ෂාත් කර ගැනීම සඳහා සාමාජික රටවලට ප්‍රතිචාර දැක්විය හැකි මාර්ගෝපදේශ මූලධර්ම,  ත්‍රස්ත මර්දන උපාය මාර්ගය විසින් මෙම සභාවට නිර්දේශ කරන්නේ නම් එය වඩාත් සාදරයෙන් පිළිගනු ඇත. පහසුව පදනම් කර ගෙන එක් එක් සිද්ධිය අනුව කටයුතු කිරීම බියගුළු, සම්මුතිවාදී ප්‍රතිචාරයක් ලෙස හැඟී යා හැකිය. ත්‍රස්තවාදීන් සහ ඔවුන්ගේ සමාන අදහස් දරන සහචරයින් දිරි ගන්වනු ලබන්නේ මෙම ප්‍රවේසම් සහගත රාජ්‍යතාන්ත්‍රික පණිවුඩ හේතුවෙනි. සභාපතිතුමනි, ව්‍යවස්ථාමයවාදයේ පාලනය අහිමි කර නොගෙන, දේශීය හා ගෝලීය වශයෙන් ත්‍රස්ත මර්දන උපාය මාර්ගයක් සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බවට සහතික කර ගනු මැනවි.

සභාපතිතුමනි, ‘එක්සත් ජාතීන්ගේ ගෝලීය ත‍්‍රස්තවාදය මැඩපැවැත්වීමේ උපායමාර්ගය ක්‍රියාත්මක කිරීමේ දී එක්සත් ජාතීන්ගේ පද්ධතියේ ක්‍රියාකාරකම්’ පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ සවිස්තර වාර්තාව අපි සටහන් කර ගන්නා අතර, ‘ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා බහුපාර්ශ්විකත්වය සහ ජාත්‍යන්තර සහයෝගීතාව අත්‍යවශ්‍ය’ වන බවට මහලේකම්වරයා කළ නිරීක්ෂණය සැනසිල්ලක් ලෙස සලකමු. ත්‍රස්තවාදයට එරෙහි අරගලය කිසිදු ජාතියකට තනිවම කළ නොහැකි ය යන මතයට අපි සම්පුර්ණයෙන්ම එකඟ වෙමු. එහි සියුම් හස්තයන් දේශසීමා ඉක්මවා යන අතර, අපට අපේක්ෂා කළ හැක්කේ එහි පරිණාමය හා ප්‍රකාශනයන් සමඟ දිගටම කටයුතු කිරීමට පමණි. මිනිත්තු කිහිපයකට පෙර නිරීක්ෂණය කළ පරිදි, ත්‍රස්තවාදයේ මුහුණුවර දැන් වෙනස් පෙනුමක් ලබා ඇති බවට ශ්‍රී ලංකාව සැලකිලිමත් වේ. ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් ඔවුන්ගේ විකෘති මතවාද තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා සාමාන්‍ය ජනතාව යොදා ගනිමින් මානව වර්ගයාගේ මූලික මූලධර්ම අවභාවිත කරනු ලැබේ. අප පාරිශුද්ධ යැයි සලකන සාරධර්ම උපයෝගී කරගනිමින් අපගේ ආයතන තුළට රිංගා ගැනීම සඳහා ඔවුන් දැන් ඔවුන්ගේ දුරස්ථ යාන්ත්‍රණයන් විකාශනය කර ඇත. අපි සැවොම මේ පිළිබඳව දන්නෙමු. එයින් එල්ලවන අන්තරායන් පිළිබඳව ද අපි කවුරුත් දනිමු. ත්‍රස්තවාදයට තුඩු දෙන ඕනෑම ආකාරයක ප්‍රචණ්ඩත්වයක් නිසැකවම ප්‍රතික්ෂේප කරන ලෙස ගෝලීය ප්‍රජාවේ සිටින අපගේ මිතුරන්ගෙන් අපි ඉල්ලා සිටිමු. ඕනෑම නීති විරෝධී ක්‍රියාවක් සඳහා වන ඉවසීම ශුන්‍යයක් විය යුතුය. ඕනෑම ත්‍රස්ත ක්‍රියාවක් හෝ ත්‍රස්තවාදයට සහාය දැක්විය හැකි ඕනෑම ක්‍රියාවක් උදාසීන කිරීම සඳහා සෑම පියවරක්ම ගන්න. එසේ නොවුවහොත්, එමඟින් මෙම තර්ජනය තුරන් කිරීමේ අපගේ ඉලක්කයෙන් අපව වළක්වනු ඇති අතර, අන්‍යෝන්‍ය විශ්වාසය හා ගෞරවය මත අප විසින් ගොඩනගා ඇති ආයතන අස්ථාවර කරවනු ඇත.

ඉදිරි දිනවල දී මෙම වැදගත් සාකච්ඡා මෙහෙයවන විට, මගේ සගයන් වන ස්පාඤ්ඤයේ සහ ඕමානයේ තානාපතිවරුන්ට මගේ දූත පිරිසගේ පූර්ණ සහයෝගය පළ කිරීම සඳහා මම මෙය අවස්ථාවක් කර ගනිමි. සභාපතිතුමනි, ශ්‍රී ලංකාව සියළුම ආකාරවල ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදයට හිතකර ප්‍රචණ්ඩ අන්තවාදය සහ එහි ප්‍රකාශනයන් හෙළා දකින අතර, අපගේ ජනතාවගේ අභිවෘද්ධිය පිණිස නව්‍ය හා ප්‍රායෝගික විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව තුළ සිය කාර්යභාරය අඛණ්ඩව ඉටු කරනු ඇත.

ස්තුතියි.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close