එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මැතිනිය විදේශ අමාත්‍ය අලි සබ්රි මැතිතුමා හමුවෙයි

එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මැතිනිය විදේශ අමාත්‍ය අලි සබ්රි මැතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මැතිනිය 2022 ජූලි 29 වැනි සිකුරාදා දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා හමුවූවාය. අමාත්‍ය සබ්රි මැතිතුමාගේ පත්වීම පිළිබඳව සුබ පැතුම් එක් කළ තානාපතිවරිය, නව විදේශ අමාත්‍යවරයාට සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නව පාලනයට සුබ පතමින් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි ජේ. බ්ලින්කන් මැතිතුමා විසින් එවන ලද පණිවුඩයක් ද භාර දුන්නාය.

සෞභාග්‍යය සහ සංවර්ධන න්‍යාය පත්‍රය ඇතුළුව, මෙම ද්විපාර්ශ්වික සබඳතාවයේ කැපී පෙනෙන කරුණු සහ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා එක්සත් ජනපදය විසින් සපයනු ලබන සහයෝගය පිළිබඳව තානාපති චුන්ග් මැතිනිය විදේශ අමාත්‍යවරයා දැනුවත් කළාය.

හවුල් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් මත පදනම් වූ ශක්තිමත් සහ බහුවිධ ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය පිළිගනිමින්, වත්මන් සමාජ-ආර්ථික සන්දර්භය තුළ සහ රටේ සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා එක්සත් ජනපදය ලබාදෙන සහයෝගය අමාත්‍ය සබ්රි මැතිතුමා අගය කළේය. මිනිස් ජාවාරම මැඩලීමේ දී ශ්‍රී ලංකාව ලබා ඇති සැලකිය යුතු ප්‍රගතිය අගයමින් 2022 එක්සත් ජනපද පුද්ගල ජාවාරම් පිළිබඳ වාර්තාවේ ශ්‍රී ලංකාව ‘2වැනි ස්ථරය’ වෙත වෙත ඔසවා තැබීම ද විදේශ අමාත්‍යවරයා විසින් පිළිගනු ලැබීය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම හමුවට එක්ව සිටියහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 අගෝස්තු 04 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close