එක්සත් ජනපදය පදනම් කරගත් විදේශීය ශ්‍රී ලාංකික අධ්‍යයන හා පර්යේෂණ සහයෝගිතා ජාලය වොෂින්ටනයෙහි ශ්‍රී ලංකා තානාපති ආර්යසිංහ මැතිතුමා විවෘත කරයි

එක්සත් ජනපදය පදනම් කරගත් විදේශීය ශ්‍රී ලාංකික අධ්‍යයන හා පර්යේෂණ සහයෝගිතා ජාලය වොෂින්ටනයෙහි ශ්‍රී ලංකා තානාපති ආර්යසිංහ මැතිතුමා විවෘත කරයි

‘එක්සත් ජනපද-ශ්‍රී ලංකා ශාස්ත්‍රීය හා පර්යේෂණ සහයෝගිතා ජාලයේ’ (USLARCN) ආරම්භක රැස්වීම 2021 අගෝස්තු 15 දින අතථ්‍ය ලෙස පැවැත්විණ. එක්සත් ජනපදයෙහි වෙසෙන ශාස්ත්‍රීය ප්‍රජාව සමඟ සම්බන්ධ වීමේ අරමුණින් සහ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන්ට එක්සත් ජනපදයේ අධ්‍යාපනික සම්පත් ලබා ගැනීම සඳහා සම-උපදේශනය සහ පහසුකම් සැලසීම සඳහා අධ්‍යයන සහයෝගීතාවයෙන් ශ්‍රී ලංකාව වෙත ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීම පිණිස, වොෂිංටන් ඩීසී හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මෙම ජාලය ආරම්භ කරන ලදි . මෙය 2021 ජනවාරි 31 දින තානාපති කාර්යාලය මඟින් දියත් කරන ලද පෑන් එක්සත් ජනපද විදේශීය ශ්‍රී ලාංකිකයින්ගේ (OSL) ජාලයේ ව්‍යාප්තිය තවදුරටත් පුළුල් කරන අතර, විදේශීය ශ්‍රී ලාංකිකයින්ගේ ක්‍රියාකාරකම්වලට සහයෝගය දැක්වීමේ සහ දේශපාලන අනුග්‍රහය, ආර්ථික සවිබල ගැන්වීම, සමාජ-සංස්කෘතික මැදිහත්වීම මෙන්ම ශ්‍රී ලාංකික ප්‍රජාව තුළ එකමුතු භාවය ඇතිකිරීම සහ ‘ශ්‍රී ලංකාවේ මිතුරන්’ වෙත ළඟාවීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය තුළ ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීම සඳහා වන තානාපති කාර්යාලයේ ප්‍රයත්න සඳහා ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීමේ පුළුල් අරමුණුවලින් සමන්විත වේ.

මීට මාස 2 කට පමණ පෙර තානාපති කාර්යාලයේ වෙබ් අඩවියේ පළ කර තිබූ සහ විදේශීය ශ්‍රී ලාංකිකයින්ගේ ජාලය අතර සංසරණය වූ දැන්වීමකට ලැබුණු ප්‍රතිචාරවලට අනුව, උනන්දුවක් දක්වන ලද විදේශීය ශ්‍රී ලාංකිකයින් 130 කට වැඩි සංඛ්‍යාවක් සංස්කෘතික අධ්‍යයනය සහ මාධ්‍ය; ව්‍යාපාර සහ මූල්‍ය; මුල් ළමාවිය අධ්‍යාපනය; කණ්ඩායම් විද්‍යාව සහ කුසලතා වර්ධනය; පාරිසරික අධ්‍යයන; පෝෂණය සහ ආහාර විද්‍යාව; රසායන විද්‍යාව, භෞතික විද්‍යාව; ඉංජිනේරු විද්‍යාව; පරිගණක විද්‍යාව සහ තොරතුරු තාක්‍ෂණය; වෛද්‍ය විද්‍යා; සමාජ විද්‍යාව සහ ශ්‍රී ලාංකික අධ්‍යනය යන අංශයන්හි කණ්ඩායම් 12 කට වෙන් කරන ලදි.

සමාරම්භක දේශනය සිදු කළ තානාපති රවිනාථ ආර්යසිංහ මැතිතුමා, ඇමරිකා එක්සත් ජනපදයේ සිටින ශ්‍රී ලාංකික විද්වතුන් ලබා ඇති සුවිශේෂී ජයග්‍රහණ සහ ඔවුන් ලංකාවට ගෙනෙන අභිමානය අගය කළේය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට සහ එහි වෙසෙන සිසුන්ට සහයෝගය දැක්වීම සඳහා මෙන්ම, එක්සත් ජනපදයේ අධ්‍යයන හා ප්‍රතිපත්ති සම්පාදක මට්ටම්වල නියුක්ත වූවන් තුළ ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳ සියුම් අවබෝධයක් පවතින බව වඩාත් තහවුරු කර ගැනීම පිණිස ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ශ්‍රී ලාංකික විද්වත් ප්‍රජාව එකට එකතු කිරීමේ වැදගත්කම එතුමා අවධාරණය කළේය. සීතල යුද්ධය අවසන් වන තෙක්ම, හවායි හි නැගෙනහිර-බටහිර මධ්‍යස්ථානය සහ අනෙකුත් එක්සත් ජනපද විශ්වවිද්‍යාල කිහිපයක් පමණක් මෙම අවශ්‍යතාවය සපුරාලන ලද බව සඳහන් කළ එතුමා, එකිනෙකාගේ රටවල ‘සිදුවීම්’ සඳහා නොව, සමස්තයක් ලෙස ඊට සම්බන්ධ ගතික ‘ක්‍රියාවලීන්’ සඳහා ප්‍රතිචාර දැක්වීම පිණිස පූර්ණ අවබෝධයක් ලබා ගැනීම අද අත්‍යවශ්‍ය වන බව පැවසීය. 2021 මැයි මාසයේ දී නිරත වූ හවායි සංචාරයේ දී තමා නැගෙනහිර-බටහිර මධ්‍යස්ථානය සහ ආසියා පැසිෆික් ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානය (APCSS) සමඟ මෙම කාරණය පිළිබඳව සාකච්ඡා කළ බවත්, ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින බහුවිධ සබඳතා පිළිබඳ පූර්ණ පරාසය පිළිබඳව කෙරෙන වඩාත් හොඳ තක්සේරුවක් මඟින් ලංකාව සහ එක්සත් ජනපදය අතර අනාගත සහයෝගීතාවයන් වඩාත් හොඳින් පිළිබිඹු කෙරෙනු ඇති බවත් තානාපති ආර්යසිංහ මහතා පැවසීය. ඔවුන්ගේ තනි හා සාමූහික ප්‍රයත්නයන් තුළින් මෙම සම්ප්‍රදාය පුනර්ජීවනය කිරීමේ අභියෝගය USLARCN විසින් භාර ගනු ඇතැයි එතුමා අපේක්ෂාව පළ කළේය.

USLARCN සම්බන්ධීකරණය කිරීමේ දී තානාපති කාර්යාලයට ලබාදුන් සහයෝගය වෙනුවෙන් විදේශීය ශ්‍රී ලාංකිකයින්ගේ ජාලයේ නිව් මෙක්සිකෝ අන්තයේ මහාචාර්ය ලානි ගුණවර්ධන මහත්මිය සහ ආචාර්ය මේනක පියසේන මහතා, සිය කණ්ඩායම් මෙහෙයවීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ කණ්ඩායම් නායකයින් සහ මෙම ප්‍රයත්නය සඳහා කාලය, ශක්තිය, ලැදියාව සහ ප්‍රවීණතාවය ස්වේච්ඡාවෙන් ලබාදීම වෙනුවෙන් ජාලයේ අනෙකුත් සියලුම සාමාජිකයින් තානාපතිවරයා අගය කළේය. ඇමරිකා එක්සත් ජනපදයේ සිටින සමාන අදහස් ඇති ශ්‍රී ලාංකික විද්වතුන් සහ සිසුන් මෙම ප්‍රයත්නයට සම්බන්ධ වනු ඇතැයි ද, වැඩි සහයෝගීතාවයක් සඳහා තවදුරටත් අවධානයක් යොමු වූ ක්ෂේත්‍ර විවෘත වනු ඇතැයි ද එතුමා අපේක්ෂාව පළ කළේය.

මෙම අවස්ථාවේ දී ප්‍රධාන දේශනය ඉදිරිපත් කරමින්, හවායි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සහ සංස්කෘතික අධ්‍යයන හා මාධ්‍ය කණ්ඩායමේ නායක විමල් දිසානායක මහතා, පෑන් විදේශීය ශ්‍රී ලාංකිකයින්ගේ ජාලය යටතේ සිදුකෙරුණු නව මූලාරම්භය වෙනුවෙන් තානාපතිවරයාට ප්‍රශංසා කළ අතර, 1950 ගණන්වල සිට එක්සත් ජනපද-ශ්‍රී ලංකා අධ්‍යාපන සහයෝගීතාවය පිළිබඳ විවිධ අවධීන් සිහිපත් කළේය.

අතීතයේ දී දිගු කාලීන උපාධි පාඨමාලා මෙන්ම සම්මන්ත්‍රණ සඳහා සහභාගී වූ සිසු, ජනමාධ්‍යවේදීන්, විද්වතුන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ සේවා නිලධාරීන්ගේ ඒකාකාර ධාරාවක් පැවති බවත්, නැගෙනහිර-බටහිර කේන්ද්‍රය වටා පළකෙරුණු අදහස්වලින් සැලකිය යුතු ලෙස අන්‍යෝන්‍ය පෝෂණය මඟින් ප්‍රයෝජන ලබා ගැනීම සහ දායක වීම සිදු වූ බවත් ඔහු පැවසීය. කෙසේ වෙතත්, “අද ඔබට ඇත්තේ මීට වසර 20 කට හෝ 30 කට පෙර තිබූ තත්ත්වයෙහි ඡායා මාත්‍රයක් පමණි. නමුත් තානාපතිවරයාගේ ප්‍රයත්නයට ස්තූතිවන්ත වන්නට, අපි එය පුනර්ජීවනය කිරීමට උත්සාහ දරන බව මම සිතමි” යි ඔහු සඳහන් කළේය. දැනට මෙම ජාලයේ සිටින ශ්‍රී ලාංකික විද්වතුන් දළ වශයෙන් ස්වාභාවික විද්‍යාවෙන් 80% ක් ද සමාජ විද්‍යාවෙන් 15% ක් ද මානව ශාස්ත්‍රයෙන් 5% ක් ද වන බව සඳහන් කරමින්, මහාචාර්ය දිසානායක මහතා අනාගත උත්සාහයන්ට උපකාර විය හැකි සංකල්පීය නිර්ණායක තුනක් නිර්දේශ කළේය; එනම්, එය අන්තර් විනයගරුක ස්වභාවයක් ගත යුතු බවත්, එය දැනුම හුවමාරුව සහ දැනුම උපයෝගී කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරන බවත්, ව්‍යුහයක් සහිත ‘ජාලයක්’ ලෙස ක්‍රියා කරන නමුත් නම්‍යශීලී වන බවත් ය.

ලොස් ඇන්ජලීස් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ආචාර්ය ලලිත් චන්ද්‍රදාස මහතා මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින්, USLARCN ට පූර්වගාමී ලෙස මීට පෙර විදේශීය ශ්‍රී ලාංකිකයන්ගේ ජාලය දියත් කිරීම පිළිබඳ තානාපතිවරයාගේ ප්‍රයත්නය ඇගයීය. කැලිෆෝනියාවේදී, පෙර පාසල් ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් කිහිප දෙනෙකු රාජ්‍ය නොවන සංවිධානයක වැඩ කටයුතු තුළින් ශ්‍රී ලාංකික කණ්ඩායම් සමඟ සම්බන්ධ වූ පෙර අත්දැකීමක් පිළිබඳව ඔහු සිහිපත් කළේය.

කණ්ඩායම් නායකයින් 12 දෙනාම තම අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍රයන්ට අදාළ ඉලක්ක, අරමුණු සහ යෝජිත ක්‍රියාකාරකම් පිළිබඳව ඉදිරිපත් කිරීම් මාලාවක් තුළින් විස්තර කළහ.

ප්‍රාන්ත 50 පුරාම සහ ශ්‍රී ලංකාවේ සගයන් සමඟ මෙම ජාලය සංවර්ධනය කිරීම සඳහා පහසුකම් සැලසීම සහ දිරිමත් කිරීම පිළිබඳව මහාචාර්ය ලානි ගුණවර්ධන මහත්මිය තානාපතිවරයාට ස්තූති කළාය. ඇය ඇමරිකා එක්සත් ජනපදයේ ගතකළ වසර හතළිහක කාලය තුළ දී “තානාපතිවරයෙකු සියලුම ප්‍රාන්තවල සිටින අප සියලු දෙනා වෙත ළඟා වූ” පළමු අවස්ථාව මෙය බව සඳහන් කළාය. ලබා දුන් සියලු සහය වෙනුවෙන්, විදේශීය ශ්‍රී ලාංකිකයන්ගේ ජාලය සම්බන්ධීකරණය කරන තානාපති කාර්යාලයේ අමාත්‍ය විජයන්ති එදිරිසිංහ මහත්මියට ද ඇය ස්තූති කළාය.

මෙම රැස්වීමේ දී තානාපතිවරයා සහ අමාත්‍ය සමඟ තොරතුරු තාක්ෂණ නිලධාරී කුමාර කරුණාරත්න සහ විධායක සහායක කෝෂිල පීරිස් යන අය ද සහභාගී වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

වොෂිංටන් ඩීසී

2021 අගෝස්තු  20 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close