“ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතාවය ශක්තිමත් කර ගැනීම සඳහා සූදානමින් සිටින විශ්වසනීය හවුල්කරුවෙකු සහ විශ්වාසවන්ත මිතුරෙකු වනු ඇත” යි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මැතිතුමා පවසයි

“ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතාවය ශක්තිමත් කර ගැනීම සඳහා සූදානමින් සිටින විශ්වසනීය හවුල්කරුවෙකු සහ විශ්වාසවන්ත මිතුරෙකු වනු ඇත” යි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මැතිතුමා පවසයි

සංචාරක බුබුලු (එයාර් බබ්ල්) සංකල්පය හරහා  කොවිඩ්-19 සීමාවන් සහිතව සංචාරක හා ගුවන් ගමන් කටයුතු නැවත ආරම්භ කිරීමට ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා යෝජනා කළේය. දෙදින නිල සංචාරයක් සඳහා ඉකුත් 05 වනදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දිය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකා රජයේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී මේ බව සඳහන් කෙළේය. ඉකුත් 06 වනදා මෙම සාකච්ඡාව පැවැත්විණ. ශතවර්ෂ ගණනාවක් පැරණි ශක්තිමත් සංස්කෘතික බැඳීම් මත ගොඩනැඟුණු ගැඹුරු සම්බන්ධතාවය පිළිබිඹු කරමින්, දෙරටේ ජනතාවට සමෘද්ධිය කරා ගෙන ඒම සඳහා පවතින වර්තමාන ජවය අඛණ්ඩව පවත්වාගෙන යාමට දෙපාර්ශ්වයම එකඟ වූහ. කොවිඩ්-19 වසංගතය මතුවීමෙන් පසුව පසුගිය මාස කිහිපය තුළ දී සෞඛ්‍ය අංශයට ලබා දුන් දැවැන්ත සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකා පාර්ශ්වය ඉන්දියාවට ස්තූතිය පුද කළේය. ආචාර්ය ජයශංකර් මැතිතුමා, ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ් එන්නත් බෙදාහදා ගැනීමේ දී සමීපතම අසල්වැසි රටවලට  ප්‍රමුඛතාවයක් ලබා දෙන බවට වැදගත් ප්‍රබල සහතිකයක් ලබා දුන්නේය. මෙම සුහද සාකච්ඡාවේදී ආර්ථික, මූල්‍ය, වෙළඳ හා ආයෝජන කටයුතු, සහයෝගීතාව, සංස්කෘතික හුවමාරුව, ආරක්ෂාව, සංවර්ධන සහයෝගීතාව මෙන්ම කොවිඩ්-19 වසංගත සඳහා වන ප්‍රතිචාර ඇතුළු ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ බහුවිධ අංශ ආවරණය වන පරිදි, ගැටළු රාශියක් සාකච්ඡාවට භාජනය කරන ලදී.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ යෝජිත ඖෂධ හා රෙදිපිළි නිෂ්පාදන කලාපවල, ඉන්දියානු සෘජු ආයෝජන සැලකිය යුතු අන්දමින් ඉහළ නංවන ලෙස විදේශ අමාත්‍ය ගුණවර්ධන මහතා මෙහිදී ඉල්ලා සිටියේය. තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය, ආගන්තුක සත්කාර සහ සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මාන්තය සහ ආහාර සැකසීම සහ ඉදිකිරීම් හා යටිතල පහසුකම් වැනි වෙනත් අංශවල ආයෝජන සඳහා පවතින හැකියාව පිළිබඳව ද එතුමා අවධාරණය කළේය.

ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති තුළින් වැඩි දියුණු කරන ලද ඉන්දීය සංවර්ධන සහයෝගීතාව අගය කළ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා, රජයේ ප්‍රතිපත්ති රාමුව වන “සෞභාග්‍යයේ දැක්ම” ට අනුකූලව නව වැඩකටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පවතින උනන්දුව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ දේශීය ප්‍රමුඛතා පිළිබඳව දැනුවත්ව සිටින ඉන්දියාව, කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය, තාක්‍ෂණය, අධ්‍යාපනය හා කුසලතා සංවර්ධනය සහ නාගරික සංවර්ධනය යන අංශවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරන බවට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය ජයශංකර් මැතිතුමා සහතික විය. ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීමට සහාය වීම සඳහා ඉන්දියාව දක්වන කැමැත්ත ද එතුමා ප්‍රකාශ කළේය.

ඉකුත් 06 වනදා පෙරවරුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමඟ ඵලදායී සාකච්ඡා පැවැත්වූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය ජයශංකර් මැතිතුමා, ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරය නිමා කරමින් ඊයේ නවදිල්ලිය බලා පිටත්ව යාමට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ද හමු වී සාකච්ඡා පවැත්වූයේය.

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2021 ජනවාරි 07 වැනි දින

 

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close