අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අභිනවයෙන් පත් වූ නේපාල අග්‍රාමාත්‍ය ෂර් බහදූර් ඩියුබා මැතිතුමාට සුබ පතයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අභිනවයෙන් පත් වූ නේපාල අග්‍රාමාත්‍ය ෂර් බහදූර් ඩියුබා මැතිතුමාට සුබ පතයි

අභිනවයෙන් පත් වූ නේපාල අග්‍රාමාත්‍ය ෂර් බහදූර් ඩියුබාට සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින්, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාව සහ නේපාලය “බහුවිධ ශිෂ්ටාචාර සම්බන්ධතා හා ගැඹුරු සහෝදරත්වයෙන්” ශක්තිය ලබා ගන්නා “සැබෑ මිතුරන්” ලෙස විස්තර කළේය. අන්‍යෝන්‍ය ගෞරවය හා සහෝදරත්වය තුළින් ශක්තිමත් වී පවතින දෙරට අතර පවත්නා දීර්ඝකාලීන සබඳතා, ගෝලීය හා කලාපීය වශයෙන් වැදගත් වන කරුණු ඇතුළත් සමීප සහයෝගීතාවයෙන් පෝෂණය වන බව අග්‍රාමාත්‍ය රාජපක්ෂ මැතිතුමා තවදුරටත් සිහිපත් කළේය.

තානාපති හිමාලී අරුණතිලක මැතිනිය විසින් ජුලි 26 වැනි දින අග්‍රාමාත්‍ය ඩියුබා මැතිතුමා හමුවූ අවස්ථාවේ දී මෙම පණිවුඩය ලබා දෙන ලදි.

පිරිනමන ලද උණුසුම් සුබපැතුම් වෙනුවෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාට ස්තූතිය පුද කළ අග්‍රාමාත්‍ය ඩියුබා මැතිතුමා, ශ්‍රී ලංකාව නේපාලය සමඟ අඛණ්ඩව කටයුතු කිරීම සහ විශේෂයෙන් ලුම්බිනි සමඟ ඇති සමීප සබඳතා පිළිබඳව සිහිපත් කළේය. කලාපීය හා බහුපාර්ශ්වික වේදිකා තුළ නේපාලය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ද එතුමා අගය කළේය.

වැඩිදියුණු කළ ආර්ථික සහයෝගීතාව සහ වෙළඳාම තුළින් ඉපැරණි සංස්කෘතික සබඳතා තහවුරු කර ගැනීම සඳහා දරන අඛණ්ඩ ප්‍රයත්න පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. ව්‍යාපාරික හා වෙළඳාමේ සහයෝගී හවුල්කාරිත්වයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ ව්‍යාපාරික ප්‍රජාවන් අතර පැවති අතථ්‍ය අන්තර්ක්‍රියා ඇතුළු මෑත කාලීන ආර්ථික මුලපිරීම් පිළිබඳව තානාපති අරුණතිලක මැතිනිය අවධාරණය කළාය.

2022 වර්ෂය දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ 65 වැනි සංවත්සරය සනිටුහන් කරන බව සඳහන් කළ එතුමිය, අගනුවරවල් දෙක අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම සඳහා වන අඛණ්ඩ සාකච්ඡා කඩිනමින් අවසන් කළ හැකි බවත්, එමඟින් වෙළඳ හා සංචාරක මෙන්ම අධ්‍යාපන, සෞඛ්‍ය සහ ව්‍යාපාරික සම්බන්ධතා විශාල වශයෙන් වැඩිදියුණු වනු ඇති බවත් පැවසුවාය.

මෙම රැස්වීමට නේපාලයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු ආසියා අංශයේ ඒකාබද්ධ ලේකම් තීර්තරාජ් වග්ලේ මහතා සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශක නිලූෂා දිල්මිනි මහත්මිය ද සහභාගී වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

කත්මණ්ඩු

2021 ජූලි 29 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close