විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උපලේකම් වික්ටෝරියා නූලන්ඩ් මැතිනිය හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උපලේකම් වික්ටෝරියා නූලන්ඩ් මැතිනිය හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍යවරයා 2023 පෙබරවාරි 01 වැනි දින එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උපලේකම් වික්ටෝරියා නූලන්ඩ් මැතිනිය සමඟ පවත්වන ලද දිවා භෝජන සංග්‍රහ හමුවක් අතරතුර ශ්‍රී ලංකා-එක්සත් ජනපද ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කිරීම සඳහා දෙරටට වැදගත් වන කරුණු පිළිබඳ සාකච්ඡා පැවැත්වී ය.

දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 75ක් සපිරීම සහ ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන් එක්සත් ජනපදයේ ජනාධිපති ජෝශප් බයිඩ්න් මැතිතුමා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත නිකුත් කරන ලද විශේෂ පණිවිඩයක් නූලන්ඩ් මැතිනිය විසින් රැගෙන එන ලදී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ඡා අතරතුර එක්සත් ජනපදය ශ්‍රී ලංකාව වෙත ලබා දුන් සහයෝගය අගය කළ විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මැතිතුමා, විශේෂයෙන්ම මෙරට ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා එක්සත් ජනපදය ලබා දුන් සුවිශේෂී සහය පැසසුවේ ය. පාලන තන්ත්‍රය ඉහළ නැංවීම, දූෂණයට එරෙහිව සටන් කිරීම සහ සංහිඳියාව වැඩිදියුණු කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද එතුමා මෙහිදී විස්තර කළේ ය.

පසුගිය වසර මෙරටට තීරණාත්මක වසරක් වූ බව සඳහන් කළ උප ලේකම් නූලන්ඩ් මැතිනිය, වත්මන් අභියෝග ජය ගැනීම මෙන්ම සමාජීය-ආර්ථික සංවර්ධනය සහ ප්‍රතිසන්ධාන කටයුතු වර්ධනය කිරීම සඳහා රජය දරන ප්‍රයත්න වෙනුවෙන් එක්සත් ජනපදයේ සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කළා ය.

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජුලී චන්ග් මැතිනිය, දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ රාජ්‍ය කාර්යංශයේ ඉන්දියාවේ නියෝජ්‍ය සහයක ලේකම් නැන්සි ඉසෝ ජැක්සන් මැතිනිය, උප ලේකම්වරියගේ  විශේෂ සහයක මේරි ෆ්‍රැන්ගාකිස් මැතිනිය සහ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරි කෙවින් ප්‍රයිස් මහතා ද උප ලේකම්  නූලන්ඩ් මැතිනිය සමඟ මෙම අවස්ථාවට සහභාගි විය. මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ  මහතා, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුණි විජේවර්ධන මැතිනිය, භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ බටහිර අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ශෝබිනි ගුණසේකර මහත්මිය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මැතිතුමා සමඟ මෙම අවස්ථාවට සහභාගි විය.

උප ලේකම් නූලන්ඩ් මැතිනිය ශ්‍රී ලංකාවේ නිරත වූ කෙටි සංචාරය අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ද හමුවූවා ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

 2023 පෙබරවාරි 07 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close