ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රකාශය “මධ්‍යම හා දකුණු ආසියාව: කලාපීය සම්බන්ධකතාවය. අභියෝග සහ අවස්ථාවන්” ජාත්‍යන්තර සමුළුව ටෂ්කන්ට්, උස්බෙකිස්තාන් ජනරජය, 2021 ජූලි 15-16

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රකාශය “මධ්‍යම හා දකුණු ආසියාව: කලාපීය සම්බන්ධකතාවය. අභියෝග සහ අවස්ථාවන්” ජාත්‍යන්තර සමුළුව ටෂ්කන්ට්, උස්බෙකිස්තාන් ජනරජය, 2021 ජූලි 15-16

උස්බෙකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍ය අතිගරු අබ්දුල්අසීස් කමිලොව් මැතිතුමනි,

තානාපතිවරුනි,

නෝනාවරුනි මහත්වරුනි,

අද ලෝකයේ වැදගත් හා ක්‍රියාශීලී කලාප දෙකක් වන මධ්‍යම හා දකුණු ආසියාව අතර සම්බන්ධකතාවය පිළිබඳ ඉතා අදාළ මාතෘකාව සාකච්ඡා කිරීම සඳහා කැපවී සිටින මෙම ඉහළ මට්ටමේ සංසදයට සහභාගී වීමට ලැබීම මට ගෞරවයකි. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ගෝලීය වශයෙන් එල්ල වී ඇති අභියෝග මධ්‍යයේ වුවද, විවිධ රටවල අදහස් එක වේදිකාවක් මතට ගෙන ඒම සඳහා මෙම කාලෝචිත සංසදය සංවිධානය කිරීම පිළිබඳව උස්බෙකිස්තාන් ජනරජයේ ජනාධිපති අතිගරු ෂව්කට් මිර්සියොයෙව් මැතිතුමාට මම ප්‍රශංසා කරමි. උස්බෙකිස්තානය සහ අනෙකුත් මධ්‍යම ආසියානු රටවල් මේ වසරේ දී ස්වාධීන රටවල් ලෙස සිය තුන්වැනි දශකය සනිටුහන් කරන බැවින්, සම්බන්ධකතාවය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙය සුදුසු අවස්ථාවක් වේ.

ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තානය මෙන්ම දකුණු හා මධ්‍යම ආසියාව ද දිගුකාලීන ඓතිහාසික හා සංස්කෘතික සබඳතා බෙදාහදා ගනී. අපි ගණිතය, තාරකා විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, දර්ශනය, ආගම සහ කලාව වැනි ක්ෂේත්‍රවලින් ලද ජයග්‍රහණ තුළින් නූතන ලෝකය බිහි කිරීමට ඉමහත් දායකත්වයක් ලබා දුන් පුරාණ ශිෂ්ඨාචාරවල උරුමක්කාරයන් වෙමු. ගොඩබිමින් වට වී තිබුණද, මධ්‍යම ආසියාව පුරාණ සේද මාවත ඇතුළු විවිධ ප්‍රදේශ සම්බන්ධ කරන පුරාණ වෙළඳ මාර්ගවල සන්ධිස්ථානයක පිහිටියේය. ඉන්දියානු සාගරයේ හදවතෙහි මූලෝපායික පිහිටීමක් සහිත සුන්දර ශ්‍රී ලංකාව ද, පුරාණ සමුද්‍ර සේද මාවත ඇතුළු නැගෙනහිර - බටහිර වෙළඳ මාර්ගවල සන්ධිස්ථානයක පිහිටා ඇත.

අද, ඉන්දියානු සාගරය තුළ අපගේ පිහිටීම, ආසියාව, අප්‍රිකාව, යුරෝපය සහ ඇමරිකාව සමඟ දකුණු ආසියාව සම්බන්ධ කිරීමේ දී තවදුරටත් වැදගත් වී තිබේ. ශක්තිමත්, මධ්‍යස්ථ හා නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් මගින් අනුපූරක වී, කලාපීය හා ගෝලීය සම්බන්ධතා තුළින් තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීම පිළිබඳ ශ්‍රී ලංකාවේ දැක්ම, ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ‘සෞභාග්‍යයේ දැක්ම’ ජාතික සංවර්ධන ප්‍රතිපත්ති රාමුවෙහි දක්වා ඇත.

වඩ වඩාත් ගෝලීයකරණය වූ සහ අන්‍යෝන්‍ය වශයෙන් යැපෙන ලෝකයක් තුළ, සමාජ-ආර්ථික සංවර්ධනය සඳහා සම්බන්ධකතාවය අද අත්‍යවශ්‍ය කරුණකි. අද ලෝක ආර්ථිකයේ ගුරුත්ව කේන්ද්‍රය ආසියාව දෙසට යොමු වී තිබේ. ලෝකයේ වේගයෙන් වර්ධනය වන කලාපයක් බවට දකුණු ආසියාව පත්ව ඇත. නූතන යුගයේ පළමු වතාවට, ආසියානු ආර්ථිකයන් ලෝකයේ සෙසු රටවල් සියල්ල එක්ව ගත් කලට වඩා විශාල වෙමින් පවතී. ඒ අතරම, සම්පත් හා බලශක්තියෙන් පොහොසත් මධ්‍යම ආසියාවේ ආර්ථික විභවය අතිවිශාල ලෙස වර්ධනය වෙමින් පවතී. මෙම සන්දර්භය තුළ, ගෝලීය වෙළඳාම පුළුල් කිරීම සඳහා දකුණු හා මධ්‍යම ආසියාව සහ බටහිර අතර සමුද්‍රීය හා ගොඩබිම් සම්බන්ධකතාවය අත්‍යවශ්‍ය කරුණක් බවට පත්වෙමින් තිබේ.

උස්බෙකිස්තානයේ අගනුවර වන ටෂ්කන්ට්, දිගු කලක් තිස්සේ ශ්‍රී ලංකාවේ කොළඹ සමඟ ගුවන් ගමන් සම්බන්ධකතා භුක්ති වින්දේය. කෙසේ වෙතත්, විශාල විභවයක් පැවතිය ද, මෙම කලාප දෙක අතර සම්බන්ධතාවය අද සාපේක්ෂ වශයෙන් පහළ මට්ටමක පවතී. එබැවින්, වර්තමාන අවශ්‍යතාවන්ට සරිලන පරිදි පවත්නා සහජීවනය ශක්තිමත් කිරීම, දේශසීමා අභියෝග ජය ගැනීම සහ ශක්තිමත් වෙළඳ, ආයෝජන සහ සංචාරක සබඳතා ඇති කර ගැනීම සඳහා අවශ්‍යතාවයක් පවතී.

ශ්‍රී ලංකාවේ කොළඹ වරාය නගරය, කලාපීය සම්බන්ධතාවය ශක්තිමත් කිරීම සඳහා උපකාරී වීම පිණිස ජාත්‍යන්තර වෙළඳාම,  අක්වෙරළ බැංකු හා මූල්‍ය සේවා, නාවික සහ සැපයුම් සේවා මෙහෙයුම්, තොරතුරු තාක්ෂණය සහ ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය සහ වෙනත් සහායක සේවාවල තරඟකාරී ආයෝජන අවස්ථා ලබා දෙන විශේෂ ආර්ථික කලාපයක් සඳහා උදාහරණයකි.

සමාප්ත කිරීමට පෙර, මෙම මාර්තු මාසයේ ජිනීවාහි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසියේ දී ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීම පිළිබඳ ප්‍රතිපත්තිමය ස්ථාවරය වෙනුවෙන් උස්බෙකිස්තාන් රජයට අපගේ හෘදයංගම ඇගයීම ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.

මේ සඳහා ප්‍රයෝජනවත්  ලෙස සම්බන්ධ වීම වෙනුවෙන් ඔබතුමාට සහ ඔවුන්ගේ වටිනා මැදිහත්වීම් සඳහා සහ සියළුම සහභාගිවන්නන්ටත් මාගේ අවංක ස්තූතිය පුද කරමි. අද දවසේ සාකච්ඡාවලින් ඵලදායී ප්‍රතිඵලයක් ලැබෙතැයි මම අපේක්ෂා කරමි.

ස්තුතියි.

...................................

The full video can be viewed at: https://youtu.be/9sXNmn92Ol4

Print Friendly, PDF & Email
Please follow and like us:

Close