නව වියට්නාම් තානාපතිවරිය විදේශ අමාත්‍යවරයා හමුවෙයි

නව වියට්නාම් තානාපතිවරිය විදේශ අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාව සඳහා අභිනවයෙන් පත් කරන ලද වියට්නාම් තානාපති හෝ ති තන් ටෘක් මැතිනිය 2021 ජූලි 15 වැනි දින විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විදේශ අමාත්‍යාංශයේ දී හමුවිය.

ශ්‍රී ලංකාවේ වියට්නාම් තානාපතිවරිය සාදරයෙන් පිළිගත් අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා, සියලු බහුපාර්ශ්වික වේදිකාවල දී වියට්නාමය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් ස්තූතිය පුද කළේය. විශේෂයෙන් කෘෂිකාර්මික, ධීවර හා ආරක්ෂක යන අංශයන්හි ශ්‍රී ලංකා - වියට්නාම ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දායක වන ව්‍යාපෘති පිළිබඳව අමාත්‍යවරයා සඳහන් කළේය. පවතින යාන්ත්‍රණය තුළින්, දේශපාලනය, ආර්ථිකය, ආයෝජනය, වෙළඳාම, විද්‍යාව හා තාක්‍ෂණය, සංස්කෘතිය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍ර ඇතුළුව, ඉහත සඳහන් අංශවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා දෙරටටම විශාල හැකියාවක් පවතින බව අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

මේ වසරේ ශ්‍රී ලංකා - වියට්නාම් සබඳතාවල 51 වැනි සංවත්සරය පිළිබඳ වැදගත් සන්ධිස්ථානය සැලකිල්ලට ගනිමින්, පිහිටුවා ඇති පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායම හරහා දේශපාලන සබඳතා පුනර්ජීවනය කිරීමේ වැදගත්කම පිළිබඳව තානාපති ටෘක් මැතිනිය සඳහන් කළාය. දෙරට අතර පවතින මිත්‍රත්වයේ ශක්තිමත් බැඳීම පිළිබඳව විදේශ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා අවධාරණය කළේය. නිදහස ලැබීමෙන් පසු සමයේ දී, ශ්‍රී ලංකාව නොබැඳි ප්‍රතිපත්තියේ මූලධර්ම මත පදනම්ව වියට්නාමයට ලබා දී ඇති සහයෝගය පිළිබඳව විශේෂ සඳහනක් කළ විදේශ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා, දෙරට අතර වියහැකි ක්ෂේත්‍රවල විශිෂ්ට සහයෝගීතාවයක් ගොඩනැගීමට තමන් අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම්වරයා අතර 2021 ජුනි 14 වැනි දින සාර්ථක දුරකථන සංවාදයක් පැවැත්විණ. මෙම සංවාදයේ දී, ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින ඵලදායී සහයෝගීතාවයට මඟ පෙන්වන සාම්ප්‍රදායික මිත්‍රත්වය පිළිබඳව නායකයින් දෙපල සඳහන් කළහ.  මෙම සබඳතාවය වැඩිදියුණු කිරීම සඳහා, ඒකාබද්ධ කැපවීමක ඇති අවශ්‍යතාවය ජනාධිපති රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය.

සියවස් ගණනාවක් පැරණි වියට්නාම් ශ්‍රී ලංකා සම්බන්ධතාවයෙහි වැදගත් සන්ධිස්ථානයක් 2020 දී රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීම පිළිබඳ 50 වැනි සංවත්සරය සමරමින් සනිටුහන් කරන ලදී. සංස්කෘතික හා ඓතිහාසික සමානකම් මත මෙම ගැඹුරට මුල් බැසගත් මිත්‍ර සබඳතාව පදනම් වී ඇති අතර, වඩාත්ම වැදගත් ලෙස බුද්ධාගමේ පොදු උරුමය දෙරටේ ජනතාව අතර ඇති ශක්තිමත් බැඳීමක් ඇති කරන හුයක් ලෙස පවතී. ඓතිහාසික වාර්තාවල සඳහන් වන අන්දමට, 17 වැනි සියවසේ දී දකුණු වියට්නාමයට බුද්ධාගම හඳුන්වා දී ඇති අතර, දකුණු වියට්නාමයේ ථෙරවාද බුද්ධාගම පිහිටුවීම සඳහා ශ්‍රී ලාංකික ස්වාමීන් වහන්සේලා දායක වූ බව විශ්වාස කෙරේ.

දිවංගත ජනාධිපති හෝ චි මිං මැතිතුමාගේ උඩුකය අනුරුවක් 2013 නොවැම්බර් 23 වැනි දින කොළඹ මහජන පුස්තකාලයේ දී එළිදක්වන ලදී. තවද, දිවංගත ජනාධිපති හෝ චි මිං මැතිතුමාගේ 124 වැනි ජන්මදිනය සනිටුහන් කරමින් 2014 දී සමරු මුද්දරයක් නිකුත් කරන ලදී. ඉහත වැඩසටහන් දියත් කිරීම මඟින් වියට්නාමය සමඟ පවතින ශ්‍රී ලංකාවේ මිත්‍රත්වය  පිළිබිඹු වන අතර, එක් කලෙක පැවති ජාතික ව්‍යාපාරය අතරතුර දී වියට්නාමය වෙත ශ්‍රී ලංකාව දැක්වූ සහයෝගීතාව පිළිබඳ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

විදේශ අමාත්‍යාංශයේ සහ කොළඹ වියට්නාම් තානාපති කාර්යාලයේ නිලධාරීන් ද මෙම රැස්වීම සඳහා එක්විය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 ජූලි 19 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close