ශ්‍රී ලංකාව නවසීලන්තයට ශ්‍රී ලාංකික සාහිත්‍ය කෘති පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකාව නවසීලන්තයට ශ්‍රී ලාංකික සාහිත්‍ය කෘති පරිත්‍යාග කරයි

නවසීලන්තයේ පාමර්ස්ටන් නෝර්ත් හි නාගරික පුස්තකාලයේ ප්‍රජා භාෂා අංශය සඳහා සිංහල හා දෙමළ භාෂා ග්‍රන්ථ එකතුවක් 2021 සැප්තැම්බර් 24 වැනි දින පරිත්‍යාග කෙරිණි.

උතුරු පාමර්ස්ටන් හි නගරාධිපති ග්‍රාන්ට් ස්මිත් මහතා පුස්තකාලයේ කළමනාකාර ලින්ඩා මුවර් මහත්මිය සහ පුස්තකාල කාර්ය මණ්ඩලය ඉදිරිපිට දී සිනාග් ශ්‍රී ලංකා පදනමේ නිර්මාතෘ ටිශාන් සම්පත් දිසානායක මහතා විසින් එම ග්‍රන්ථ නිල වශයෙන් පුස්තකාලය වෙත භාර දෙන ලදි.

නවසීලන්තයේ පාමර්ස්ටන් නෝර්ත් හි නාගරික පුස්තකාලය එහි බහුභාෂක පාඨකයන් සඳහා විවිධ භාෂා 25 කට අධික ගණනකින් යුත් ග්‍රන්ථ එකතුවක් පවත්වාගෙන යයි. මාර්ටින් වික්‍රමසිංහ මහතා සහ ඩබ්. ඒ. අබේසිංහ මහතා වැනි ප්‍රකට කතුවරුන්ගේ ඇතැම් කෘතිවල ඉංග්‍රීසි පරිවර්තන ද ඇතුළත් සිංහල හා දෙමළ භාෂාවෙන් ලියන ලද ග්‍රන්ථ 76 කින් සුසැදි මෙම පරිත්‍යාගය මඟින් දැන් එම පුස්තකාලය ලාංකේය සාහිත්‍යයෙන් පෝෂණය කෙරෙනු ඇත.

ළමුන් සඳහා වූ සිංහල භාෂා පොත් සහ බෞද්ධ ජාතක කතා පොත්වලට අමතරව, මෙම ග්‍රන්ථ එකතුවට මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ‘ගම්පෙරළිය’, ‘කලියුගය’, ‘යුගාන්තය’, ‘මඩොල් දූව’ සහ ‘අපේ ගම’ යන ග්‍රන්ථ මෙන්ම ආචාර්ය ඩබ්. ඒ. අබේසිංහ මහතාගේ ‘ස්වාමි සහ යාළුවෝ’, ‘යුද්ධය හා ප්‍රේමය’ යන ජනප්‍රිය පරිවර්තන කෘති ද ඇතුළත් විය.

පාමර්ස්ටන් හි වෙසෙන ශ්‍රී ලාංකික දරුවන්ට සිය මව් භාෂාව පිළිබඳ පවත්නා දැනුම පුළුල් කර ගැනීමට මෙන්ම ශ්‍රී ලාංකික ජන ජීවිතය පිළිබඳ දැනුවත් වීම සඳහා මෙම ග්‍රන්ථ එකතුවෙන් මහත් ප්‍රයෝජන ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මාර්ටින් වික්‍රමසිංහ භාරකාර අරමුදල සහ සමුද්‍ර පොත් ප්‍රකාශකයෝ මෙම ග්‍රන්ථ එකතුව සඳහා අනුග්‍රහය ලබා දුන්හ. කැන්බරා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් ඒ සඳහා පහසුකම් සපයා දෙන ලදි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

කැන්බරා

2021 ඔක්තෝබර් 13 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close