මුම්බායි හි කොන්සල් ජනරාල් කාර්යාලය ISKCON කෝවිල සමඟ එක්ව කුරුඳු ප්‍රවර්ධනය කරයි

මුම්බායි හි කොන්සල් ජනරාල් කාර්යාලය ISKCON කෝවිල සමඟ එක්ව කුරුඳු ප්‍රවර්ධනය කරයි

2022 මැයි 16 වැනි දින, මුම්බායි නුවර ජූහු හි පිහිටි ක්‍රිෂ්ණා විඥානය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (ISKCON) පරිශ්‍රයේ දී ලංකා කුරුඳු ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් දියත් කළ මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, එම කෝවිලේ සභාපති වන බ්‍රජ්හාරි දාස් සහ අනෙකුත් නේවාසික පූජකවරුන් ඉදිරිපිට ක්‍රිෂ්ණා දෙවියන්ට ලංකා කුරුඳු කිලෝග්‍රෑම් 5 ක් පූජා කිරීමට කටයුතු කළේ ය. මෙම උත්සවය අතරතුර සිය අදහස් පළ කළ කොන්සල් ජනරාල් ආචාර්ය වල්සන් වෙතෝඩි මහතා, ගෝලීය කුරුඳුවලින් 90%ක් ශ්‍රී ලංකාව විසින් සපයනු ලබන බවත් ශ්‍රී ලංකාව යනු පිරිසිදු කුරුඳු නිපදවන ලොව විශාලතම අපනයනකරු බවත් සඳහන් කළේ ය. ‘පිරිසිදු ලංකා කුරුඳු’ ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ගෝලීය සන්නාමයක් බවට පත්ව ඇති බවත්, ලංකා කුරුඳු සඳහා යුරෝපා සංගමය තුළ GI සහතිකය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිව ඇති බවත් එතුමා ප්‍රකාශ කළේ ය. තවද, Cinnamomum Zeylanicum යනු ඉහළම ශ්‍රේණියේ පිරිසිදු කුරුඳු නිෂ්පාදනය කරන ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් බව පෙන්වා දුන් කොන්සල් ජනරාල්වරයා, ශ්‍රී ලංකාවේ වගා කර නිෂ්පාදනය කරන කුරුඳු එහි ඇති සුවිශේෂී ගුණය, වර්ණය, රසය සහ සුවඳ හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳපොළ තුළ දිගුකාලීන කීර්තියක් හිමි කරගෙන ඇති බව සඳහන් කළේය.

කුරුඳු ඉන්දියානු ආහාර සඳහා අත්‍යවශ්‍ය කුළුබඩු වර්ගයක් වුවද, සැබෑ කුරුඳු සහ කැසියා අතර පවතින වෙනස පිළිබඳව අවබෝධයක් නොමැතිකම සහ මුම්බායි වෙළඳපොළ තුළ ලංකා කුරුඳු නොමැතිවීම හේතුවෙන් මුම්බායි හි බොහෝ පාරිභෝගිකයන් කැසියා ප්‍රභේදය මිලදී ගැනීමට පෙළඹී ඇති බව වැඩිදුරටත් සඳහන් කළ කොන්සල් ජනරාල්වරයා, කොන්සල් කාර්යාලයේ මෙම කුරුඳු ප්‍රවර්ධන වැඩපිළිවෙල මගින් ශ්‍රී ලංකාවේ කුරුඳු නිෂ්පාදන සඳහා ඉල්ලුමක් ඇති කරමින් වත්මන් තත්ත්වය තුළ වෙනසක් ඇති කිරීම අරමුණු කෙරෙන බව ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකා කොන්සල්  ජනරාල් කාර්යාලය

මුම්බායි

2022 මැයි 20 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close