දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකාවේ අපනයනය දිරි ගන්වන්නට දකුණු අප්‍රිකාවේ ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට හමුවීම් මාලාවක්

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකාවේ අපනයනය දිරි ගන්වන්නට දකුණු අප්‍රිකාවේ ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට හමුවීම් මාලාවක්

ශ්‍රී ලංකාවේ අපනයන කරුවන්ට නව අවස්ථා උදා කර දීම සඳහා දකුණු අප්‍රිකාවේ  ව්‍යාපාරයකින් ව්‍යාපාරයකට නව හමුවීම් මාලාවක් ආරම්භ කීරිම ඉකුත් සතියේ ආරම්භ විය. පොල් නිෂ්පාදන, රබර් නිෂ්පාදන, රූපාලංකරණ හා ආයුර්වේද නිෂ්පාදන සහ විදුලි/විද්‍යුත් ස්ථාපන උපකරණ කෙරෙහි විශේෂ අවධානය සහිතව මෙම ව්‍යාපාරික හමු පැවැත්වීමට පහසුකම් සැපයීම පිණිස මහ කොමසාරිස් කාර්යාලය දකුණු අප්‍රිකාවේ ඩර්බන්හි මිනාරා වාණිජ මණ්ඩලය සමග අත්වැල් බැඳගෙන සීටි. දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවේ වාණිජ දෙපාර්තමේන්තුව සහ අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ සහයෝගිතාවයෙන් පශ්චාත් කොවිඩ් නව සාමාන්‍ය තත්වය  තුළ  ශ්‍රි ලංකාවේ අපනයන ඉහළ දැමීමේ අරමුණ ඇතිව මෙම වැඩ සටහන ආරම්භකර තිබේ.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් දකුණු අප්‍රිකානු කලාපය තුළ නිර්මාණය වූ ඉල්ලුම් සැපයුම් පරතරය පුරවාලීම මෙහි අරමුණයි. අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ මෙහි පළමු රැස්වීම ඇග්‍රි ලංකා එන්ටප්‍රයිසස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රවංශ  පතිරාජ, සිලෝන් එක්ස්පෝට් ඇන්ඩ් ට්‍රේඩිං පුද්ගලිස සමාගමේ දුලාරා ද අල්විස් මහත්මිය සහ දකුණු අප්‍රිකාවේ ෆ්‍රෙෂා ට්‍රේඩිං එන්ටර්ප්‍රයිස්හි අධ්‍යක්ෂ අරෂාණී මහත්මියත් අතර පැවැත්වුණි.

ඉස්ලාමීය මූලධර්ම සහ ආචාර් ධර්මවලට අනුව කටයුතු කරන්නා වූ දකුණු අප්‍රිකානු ව්‍යාපාර සහ ව්‍යවසායන් නියෝජනය කරමින් හා ඒවාට අවශ්‍ය සහයෝගය ලබා දෙමින් උපාය මාර්ගික පාර්ශවකරු ලෙස මිනාරා වාණිජ මණ්ඩලය දකුණු අප්‍රිකාවේ අන්තර්ජාතික වෙළඳාමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. මිනාරාහි ප්‍රධාන කාර්යාලය ඩර්බන්හි ක්වාසුලු-නටාල්හි පිහිටා ඇති අතර කලාපීය කාර්යාලය ගවුටෙන්, ජොහැනස්බර්ග්හි පිහිටා තිබේ. දකුණු අප්‍රිකානු කලාපයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථානය වනුයේ ඩර්බන් වරාය බැවින්, අසල්වැසි රටවල් ද ආනයන හා අපනයන වෙළඳාම සඳහා මෙම වරාය යොදා ගනියි. එබැවින් මෙම සහයෝගිතාව දකුණු අප්‍රිකාවේ පමණක් නොව අසල්වැසි රාජ්‍යයන් වන බොට්ස්වානා, ලෙසෝතෝ, එස්වාටිනි (ස්වාසිලන්තය), සැම්බියාව සහ සිම්බාබ්වේ යන රටවල ද නව වෙළඳපොළවල් සොයා ගැනීමට ඉවහල් වනු ඇත. එසේම, වෙළඳාම සඳහා වන දකුණු අප්‍රිකානු සංවර්ධන ප්‍රජාව (SADC) යටතේ පවතින රටවල් වෙත පිවිසුම වනුයේ ද ඩර්බන් වරායයි.

දැනට ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර වෙළඳාම වාර්ෂිකව ඇඩො. මිලියන 250 සිට මිලියන 270 දක්වා වන අතර ඉන් විශාලතම කොටස වෙන්ව ඇත්තේ නොරොච්චෝලේ පිහිටි ලක්විජය විදුලි බලාගාරය වෙත ගල්අඟුරු සැපයීම සඳහාය. තේ, ඇඟලුම්, ඝන හා වායව ටයර, පොල් නිෂ්පාදන, කුළුබඩු, රබර් සහ තවත් විවිධ නිෂ්පාදන ඇතුළුව ශ්‍රි ලංකාව සාමාන්‍යයෙන් වාර්ෂිකව ඇ.ඩො. මිලියන 40ක වටිනා භාණ්ඩ දකුණු අප්‍රිකාවට වාර්ෂිකව අපනයනය කරයි.

මහ කොමසාරිස් සිරිසේන අමරසේකර මහතා ශ්‍රී ලංකා අපනයනකරුවන් දෙදෙනෙකු ගැණුම්කරුට හඳුන්වාදුන් අතර ආහාරයට ගත හැකි පොල් නිෂ්පාදනවල සෞඛ්‍ය ප්‍රතිලාභ පැහැදිළි කර දෙන ලදී. තවද, පවතින ගෝලීය ඉල්ලුම් හා සැපයුම් ප්‍රවාහ සංසන්දනය කරමින්, මහා පරිමාණ භාණ්ඩ අලෙවියට වඩා අගය එකතු කළ ආහාරයට ගත හැකි පොල් නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඔහු අවධාරණය කළේය. මහ කොමසාරිස් කාර්යාලයේ වාණිජ ලේකම් සංජීව බණ්ඩාර මහතා මිනාරා වාණිජ මණ්ඩලයේ කළමනාකාරිත්වය සමග මෙම කාර්යමාත්‍ර හමුව (virtual meeting) සංවිධානය කරන ලදී.

නව ව්‍යාපාරික හා වෙළඳපොළ අවස්ථා සොයාගැනීම පිණිස මෙම ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට රැස්වීම් මාලාව සමග අත්වැල් බැඳගන්නා ලෙස මිනාරා වාණිජ මණ්ඩලයේ මහලේකම් රසාක් ජූමා මහතා ශ්‍රි ලාංකික අපනයනකරුවන්ට හා ආනයනකරුවන්ට ආරාධනා කරන ලදී.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය
ප්‍රිටෝරියා

2021 මැයි 18 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close