තානාපති මහාචාර්ය එම්. ඩී. ලමාවංස මහතා ආර්මේනියා ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

තානාපති මහාචාර්ය එම්. ඩී. ලමාවංස මහතා ආර්මේනියා ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

2021 පෙබරවාරි 23 වන දින, තානාපති මහාචාර්ය එම්. ඩී. ළමාවංස මහතා ආර්මේනියා ජනරජයේ ජනාධිපති ආර්මේන් සර්කිසියන් මහතා වෙත සිය අක්ත පත්‍ර පිළි ගන්වා ආර්මේනියානු ජනරජය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අති විශේෂ සහ පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස සිය රාජකාරි ආරම්භ කළේය. වසංගත රෝග වැළැක්වීමේ අවශ්‍යතාවන්ට අනුකූලව ආර්මේනියාවේ අගනුවර වන යෙරෙවාන්හි ජනාධිපති මන්දිරයේදී සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම උත්සවයට ආර්මේනියා ජනරජයේ ශ්‍රී ලංකා නිර්වේතනික  කොන්සල් පරෝන් සර්ගිස් වයි. ටාවර්ඩියන් මහතා සහ තානාපති පුද්ගලික සහකාර ඕ.එන්. රොමානෝවා මහත්මිය ද සහභාගී වූහ. ආර්මේනියානු ජනාධිපතිතුමා, ආර්මේනියාවේ නියෝජ්‍ය විදේශ ඇමති අවෙට් ආඩොන්ට්ස් මහතා, ආර්මේනියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියා-පැසිෆික් අංශයේ අධ්‍යක්ෂ පරොන් මනාට්සකාන් සෆරියන් සහ රාජ්‍ය ගිවිසුම් නියෝජ්‍ය ප්‍රධානී පරොන් අර්මාන් අගජානියන් මහතා සමග ඊට සහභාගි වූහ.

තානාපතිවරයා විසින් එහිදී ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ආර්මේනියානු ජනපති ආර්මේන් සර්කිසන් මහතා වෙත උණුසුම් සුබ පැතුම් පිරි ගන්වනු ලැබිණි. එම උත්සවය අවසන් වූයේ, ශ්‍රී ලංකාව - ආර්මේනියාව අතර අන්තර්ජාතික වශයෙන් අන්‍යෝන්‍ය සබඳතා රාමුව පිළිබඳව අවධානය යොමු කරමින් සිදු කරන ලද සංක්ෂිප්ත සංවාදයකිනි. එහිදී, වෙළෙඳ, අධ්‍යාපනය සහ සෞඛ්‍ය යන අංශ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලදී.

පෙබරවාරි 23 වන දින ආර්මේනියානු ජනපති වෙත අක්තපත්‍ර පිළිගැන්වීමට පෙරාතුව, තානාපතිවරයා විසින් අක්ත පත්‍රවල පිටපත් භාර දෙන ලද අතර, ආර්මේනියා ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය ගරු අරා අයිවසියන් මහතා සමග පුළුල් සාකච්ඡාවක නිරත වීමේ අවස්ථාවද එහිදී හිමි විණි. තානාපති මහාචාර්ය ලමාවංස මහතා, අන්තර්ජාතික හා කලාපීය ප්‍රතිපත්තියට අදාළව, ශ්‍රී ලංකාවේ නායකත්වය විසින් දක්වන ප්‍රමුඛතාවන් පිළිබඳව, සෞභාග්‍යෙය් දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කර ඇති සංවර්ධන වැඩ පිළිවෙළ, විශේෂයෙන්ම, ද්වීපාර්ශ්වික වෙ‍ළෙඳාම ඉහළ නැංවීමේ ශ්‍රී ලංකා ජනපතිතුමාගේ දැඩි අභිප්‍රාය හා ශ්‍රී ලංකාවේ සෘජු ආයෝජන සඳහා අවස්ථා විවිධාංගීකරණය කිරීම ආදි කරුණු පිළිබඳව විදේශ අමාත්‍යවරයා දැනුවත් කරනු ලැබිණි.

තවද, විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ සහයෝගීතාව ඇති කිරීමේ වැදගත්කම පිළිබඳ එහිදී තානාපතිවරයා සඳහන් කළ අතර, එමඟින් නවීන තාක්‍ෂණයන්, වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව මෙන්ම, සංස්කෘතික අධ්‍යයනයන් සහ සමස්ත සංස්කෘතික හා අධ්‍යාත්මික බැඳීම් සඳහා අන්‍යෝන්‍ය අවබෝධය සහ මිනිසුන් අතර සම්බන්ධතා සඳහා දායක වන, ද්විපාර්ශ්වික හුවමාරුව සඳහා තවදුරටත් අවස්ථා පුළුල් කිරීමටද ඉවහල් වනු ඇති බවටද තානාපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මොස්කව්

2021 මාර්තු 12 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close