විදේශ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා 2021 අගෝස්තු 05 වැනි දින පැවති කොවිඩ් -19 එන්නත් සහයෝගීතාව පිළිබඳ පළමු ජාත්‍යන්තර සමුළුව අමතමින්, තිරසාර සංවර්ධන ඉලක්ක අංක 3 ට අනුකූලව සැමට ආරක්ෂිත, කාර්යක්ෂම, ගුණාත්මක හා දැරිය හැකි මිලකට අත්‍යවශ්‍ය ඖෂධ සහ එන්නත් ලබා ගැනීම සහතික කිරීම පිණිස, සෑම කෙනෙකුටම ලබා ගත හැකි සහ දැරිය හැකි මිලකට කොවිඩ්-19 එන්නත් ලබා දීමට රටවල් අතර සමීප සහයෝගීතාවයක් ඇති කර ගැනීම සඳහා ගෝලීය උත්සාහයන් වැඩිදියුණු කරන ලෙස ඉල්ලා සිටියේය.
වයස අවුරුදු 30 ට වැඩි ජනගහනයෙන් 90% කට වඩා වැඩි ප්‍රමාණයකට පළමු එන්නත ලබා දීම තුළින් ශ්‍රී ලංකා රජය ලද සාර්ථකත්වය ඉස්මතු කරන අතරම, ලොව පුරා එන්නත් ලබා දීමේ වැඩසටහන්වල තවමත් සැලකිය යුතු අසමානකම් පවතින බවත්, කොවිඩ්-19 වසංගතය සාර්ථකව පරාජය කිරීම සඳහා ඊට පිළියම් යෙදිය යුතු බවත් විදේශ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා අවධාරණය කළේය.
මේ සම්බන්ධයෙන්, ද්විපාර්ශ්වික සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ට, විශේෂයෙන් චීනය විසින් ශ්‍රී ලංකාවේ එන්නත් කිරීමේ ව්‍යාපාරය සඳහා සිනෝෆාම් මිලියන 2.7 ක එන්නත් ද ඇතුළුව එන්නත් මිලියන 10 කට වඩා වැඩි ප්‍රමාණයක් කාලෝචිතව සැපයීම වෙනුවෙන් අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා ස්තූතිය පුද කළේය.
එන්නත් නිෂ්පාදනයේ ගුණාත්මකභාවය පවත්වා ගැනීම සඳහා පර්යේෂණ සහ නිෂ්පාදන වැඩි දියුණු කිරීම පිණිස සමීප සහයෝගීතාවයක් ඇති කරන ලෙස ද විදේශ අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සංසදයට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරයා, රටවල් 24 ක විදේශ අමාත්‍යවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යවරුන්, GAVI හා CEPI යන ආයතනවල නියෝජිතයින් සහ එන්නත් නිෂ්පාදකයින් ද සහභාගී වූහ. රැස්වීමෙන් අනතුරුව, සහභාගී වූවන් විසින් එන්නත් සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයක් ද නිකුත් කරන ලදී.
විදේශ අමාත්‍යාංශය
කොළඹ
2021 අගෝස්තු 06 වැනි දින
............................................
එන්නත් සහයෝගීතාව පිළිබඳ පළමු ජාත්‍යන්තර සමුළුවේ දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් කරන ලද ප්‍රකාශය 2021 අගෝස්තු 05 වැනි දින
මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය ගරු වැන්ග් යි මැතිතුමනි,
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්තුමනි,
සම්භාවනීය විදේශ හා සෞඛ්‍ය අමාත්‍යවරුනි,
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්තුමනි,
නෝනාවරුනි මහත්වරුනි,
කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සහ වසංගතයෙන් පසු ආර්ථික ප්‍රතිසාධනය වේගවත් කිරීම සඳහා දැනට පවතින එකම තිරසාර විසඳුම එන්නත පමණක් වන පසුබිමක් තුළ, එන්නත් සහයෝගීතාව පිළිබඳ පළමු ජාත්‍යන්තර සමුළුවේ කාලෝචිත රැස්වීම ඇමතීමට ලැබීම පිළිබඳව මම සතුටු වෙමි.
මේ සම්බන්ධයෙන්, 2021 මැයි මාසයේ පැවති ගෝලීය සෞඛ්‍ය සමුළුවේ දී අතිගරු ජනාධිපති ෂී ජින් පින්ග් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද වැදගත් යෝජනාවලට අනුව අද දින සමුළුව කැඳවීම පිළිබඳව අපගේ සමීපතම මිත්‍රයා සහ හවුල්කරුවා වන මහජන චීන සමූහාණ්ඩුවට ස්තූති කිරීමට මම කැමැත්තෙමි.
සම්භාවනීය නෝනාවරුනි මහත්වරුනි,
මෙම වසංගතය සාර්ථකව මැඩපැවැත්වීම සඳහා කල් තබා එන්නත ලබා දීමේ වැදගත්කම හඳුනා ගනිමින්, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඍජු මඟ පෙන්වීම සහ නායකත්වය යටතේ 2021 පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාව සිය එන්නත් කිරීමේ වැඩසටහන ආරම්භ කළාය.
පසුගිය සතිය තුළ දී, එන්නත් ලබා දීම පිළිබඳ ඉහළම දෛනික සාමාන්‍යයන්ගෙන් එකක් ලෙස සෑම දිනකම 500,000 කට අධික මාත්‍රා සංඛ්‍යාවක් ලබා දෙමින්, ශ්‍රී ලංකාව සිය එන්නත් කිරීමේ වැඩසටහන තුළ අතිවිශාල සාර්ථකත්වයක් අත්කර ගෙන තිබේ.
2021 අගෝස්තු 4 වැනි දින වන විට, වයස අවුරුදු 30 ට වැඩි ජනගහනයෙන් 91.2% කට ආසන්න ප්‍රමාණයක් එන්නත් කර ඇති අතර, අපගේ අරමුණ වන්නේ 2021 සැප්තැම්බර් මාසය වන විට වයස අවුරුදු 30 ට වැඩි සියලුම පුද්ගලයින්ට පූර්ණ වශයෙන් එන්නත ලබා දීමයි.
මේ සම්බන්ධයෙන්, අපගේ ද්විපාර්ශ්වික සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ට ශ්‍රී ලංකාව අවංකවම ස්තූතිය පුද කරන අතර, විශේෂයෙන් චීනය විසින් නොමසුරුව සිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 8 කට වඩා සැපයීම, සිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 2.7 ක් නොමසුරුව පරිත්‍යාග කිරීම සහ කාලෝචිත ලෙස සෞඛ්‍ය උපකරණ සැපයීම මඟින් අපගේ එන්නත්කරණ ව්‍යාපාරයේ සාර්ථකත්වය සඳහා ඉමහත් දායකත්වයක් ලබා දී ඇත.
සම්භාවනීය නෝනාවරුනි මහත්වරුනි,
විවිධ වසංගත ප්‍රභේද මතුවීම හේතුවෙන් වර්ධනය වෙමින් පවතින අවදානම් තත්ත්ව හේතුවෙන් ලෝකය මුහුණ පා ඇති පෙර නොවූ විරූ අභියෝග ජය ගැනීම පිණිස, කොවිඩ්-19 වසංගතය තිරසාර ලෙස පරාජය කිරීම සහතික කිරීම සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන් වෙත අපගේ සහය සහ සහයෝගීතාව ලබා දීම සඳහා ජාත්‍යන්තර සහයෝගිතාව සහ එකමුතුව අත්‍යවශ්‍ය වේ.
කොවිඩ්-19 එන්නත් කරා සැමට සාධාරණව ප්‍රවේශ විය හැකි පරිදි එන්නත් පර්යේෂණ, සංවර්ධනය සහ බෙදා හැරීම සඳහා හවුල් සහයෝගීතාවයන් ශක්තිමත් කිරීම ඉතා වැදගත් කරුණකි. කෙසේ වෙතත්, සැපයුම හා සම්පත් පිළිබඳ දැඩි බාධාවන්, සංවර්ධනය වෙමින් පවතින රටවල එන්නත ලබා දීමේ ක්‍රියාවලියට බලපා තිබේ.
අපගේ සමාජ සංවිධාන, රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, පර්යේෂණ සංවිධාන සහ ජනතාව යන සියළුම අංශ සමඟ සමීප සහයෝගය මඟින් ද සාර්ථකත්වය ශක්තිමත් කෙරේ. කොවිඩ්-19 රැල්ලෙන් කිසිදු රටක් පරිවරණය වී නොමැති බැවින්, අපගේ සහයෝගීතාව අත්‍යවශ්‍ය වේ.
එබැවින්,
- සැමට ආරක්ෂිත, කාර්යක්ෂම, ගුණාත්මක හා දැරිය හැකි මිලකට අත්‍යවශ්‍ය ඖෂධ සහ එන්නත් ලබා ගැනීම සහතික කිරීම සඳහා තිරසාර සංවර්ධන ඉලක්ක අංක 3 ට අනුව කොවිඩ්-19 එන්නත්, සෑම කෙනෙකුටම ලබා ගත හැකි සහ දැරිය හැකි මිලකට ලබා දීම,
- කොවැක්ස් යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සහ එම ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා එන්නත් නිපදවන රටවල් එයට සහභාගී වීම දිරිමත් කිරීම,
- සෞඛ්‍යය සහ කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂාව ලබා ගැනීම පිණිස, එන්නත් නිපදවීම සඳහා හැකියාව ඇති රටවල් විසින් එසේ කිරීම සඳහා පහසුකම් සැලසීම,
- එන්නත් නිෂ්පාදනයේ ගුණාත්මකභාවය පවත්වා ගැනීම සහ නිෂ්පාදන වැඩි දියුණු කිරීම පිළිබඳ පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම
සඳහා වන ඉල්ලීම යළි අවධාරණය කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.
කොවිඩ්-19 පරාජය කිරීමේ වැඩසටහන තුළ අපගේ ජනතාවට සහ ලොව පුරා සිටින සියලු ජනතාවන්ට ලබා දුන් ඉමහත් ශක්තිය වෙනුවෙන් අපි චීනයට ස්තූතිවන්ත වන්නෙමු.
ඒකාබද්ධ ප්‍රකාශය වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින අතර, අපගේ සියලු ජාතීන්ගේ සමෘද්ධිය උදෙසා මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සියලු හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කරයි.
ස්තුතියි!