පලස්තීන රාජ්‍යයේ ශ්‍රී ලංකා නියෝජිත නාවලගේ බෙනට් කුරේ මහතා සිය අක්තපත්‍ර පිළිගන්වයි

පලස්තීන රාජ්‍යයේ ශ්‍රී ලංකා නියෝජිත නාවලගේ බෙනට් කුරේ මහතා සිය අක්තපත්‍ර පිළිගන්වයි

පලස්තීන රාජ්‍යයේ ශ්‍රී ලංකා නියෝජිත නාවලගේ බෙනට් කුරේ මහතා 2021 අගෝස්තු 03 වැනි දින පලස්තීනයේ රමාල්ලාහි පිහිටි විදේශ කටයුතු හා විදේශිකයන් පිළිබඳ අමාත්‍යාංශයේ දී පලස්තීන රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය රියාද් අල්-මල්කි මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වීය.

අක්තපත්‍ර පිළිගැන්වීමෙන් අනතුරුව පැවති සාකච්ඡාවේ දී, අල්-මල්කි අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව සමඟ පැවති දීර්ඝ කාලීන සබඳතා අගය කළ අතර, විශේෂයෙන් පලස්තීන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (PICA) සංවර්ධන ව්‍යාපෘති සහ “බීටූනියා හි මහින්ද රාජපක්ෂ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය” ශ්‍රී ලාංකික ව්‍යාපෘතිය නැවත සක්‍රීය කිරීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති සඳහා වන ද්විපාර්ශ්වික සහයෝගීතාවය පිළිබඳ විෂය පථය පුළුල් කර ගැනීම සඳහා පලස්තීනය උනන්දුවක් දක්වන බව පැවසීය.

නියෝජිත කුරේ මහතා අල්-මල්කි අමාත්‍යවරයා වෙත විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සුබ පැතුම් එක් කරමින්, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉදිරියට ගෙන යාම සහ ශක්තිමත් කිරීම සඳහා වන ශ්‍රී ලංකාවේ කැපවීම ප්‍රකාශ කළේය.

පවතින ගෝලීය වසංගතය හේතුවෙන් මහින්ද රාජපක්ෂ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කිරීම සඳහා ටික කලක් ගත වන බව නියෝජිත කුරේ මහතා පෙන්වා දුන්නේය.

පලස්තීනය පිළිබඳ ගැටළුව සහ පලස්තීන ජනතාව පිළිබඳව ජාත්‍යන්තර වේදිකාවල දී ශ්‍රී ලංකා රජය දක්වන සහයෝගය සහ ස්ථාවරය පිළිබඳව අල්-මල්කි අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කළේය.

පලස්තීනය සහ එහි ජනතාව සමඟ ශ්‍රී ලංකාව බෙදා හදා ගන්නා සහයෝගිතාවය සහ ස්වාධීන රාජ්‍යයක් පිහිටුවීම සඳහා ඔවුන්ට ඇති අයිතිය පිළිබඳව නියෝජිත කුරේ මහතා අවධාරණය කළේය. ක්ෂේත්‍ර රාශියක් ආවරණය වන පරිදි ශ්‍රී ලංකාව සහ පලස්තීනය අතර පෝෂණය වූ විශේෂ සබඳතා ශක්තිමත් කර ගැනීමට ඔහු කැමැත්ත පළ කළේය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 අගෝස්තු 09 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close