ආසියානු තාක්‍ෂණ ආයතනය (AIT) සමඟ සහයෝගීතාව  ශක්තිමත් කරන බවට ශ්‍රී ලංකාව සහතික වෙයි

ආසියානු තාක්‍ෂණ ආයතනය (AIT) සමඟ සහයෝගීතාව  ශක්තිමත් කරන බවට ශ්‍රී ලංකාව සහතික වෙයි

ආසියානු තාක්‍ෂණ ආයතනය (AIT) සමඟ සබඳතා තවදුරටත් ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාව කැපවන බවට තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති සහ යුනෙස්කැප් හි නිත්‍ය නියෝජිත සී. චමින්දා අයි. කොලොන්නෙ මැතිණිය  සහතික වූවාය. ඉකුත් 05 දින පැවති භාරකාර මණ්ඩලයේ මාර්ගගත රැස්වීමට ප්‍රථම වතාවට සහභාගී වෙමින් තානාපතිනිය මේ බව සදහන් කළාය.

පශ්චාත් උපාධි අධ්‍යයන ක්ෂේත්‍රය තුළ ආයතන දෙක අතර අවබෝධතා ගිවිසුමකට ඉක්මනින් එළඹීම සඳහා මූලික පියවර ගැනීම සඳහා ආසියානු තාක්‍ෂණ ආයතනයේ සභාපති ආචාර්ය ඊඩ්න් වයි. වූන් මහතා සහ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අතර මෑතක දී සිදු වූ සාකච්ඡා පිළිබඳව තානාපතිවරිය විස්තර කළාය.

1977 සිට ශ්‍රී ලංකාව ඒඅයිටී ආයතනයේ භාරකාර මණ්ඩලය නියෝජනය කරන අතර, ඒඅයිටී සහ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අතර දිගුකාලීන හවුල්කාරිත්වයන් සහ සහයෝගීතාවයන් භුක්ති විඳිති.පසුගිය වසර ගණනාව තුළ ශ්‍රී ලාංකික සිසුන් 1,625 දෙනෙක් ඒඅයිටී ආයතනයෙන් ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි ලබා ඇති අතර, ඒඅයිටී ආයතනයේ පීඨවල සේවය කරන ප්‍රවීණ ශ්‍රී ලාංකික විද්වතුන් සිටිති. ශ්‍රී ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව වූ රාවණා 1 හි සංවර්ධකයෙකු වූ දුලානි චාමිකා විතානගේ මහත්මිය ද ඒඅයිටී ආයතනයේ ආදි ශිෂ්‍යාවකි. මේ වන විට තායිලන්තයේ ඒඅයිටී ආයතනයේ පශ්චාත් උපාධි සඳහා ලියාපදිංචි වී සිටින ශ්‍රී ලාංකික සිසුන් සංඛ්‍යාව 42 කි.

සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් සහ ආරක්‍ෂාවක් සැපයීම සහ 2021 මාර්තු මාසයේ දී කොවිඩ්-19 සඳහා ධනාත්මක බවට අනාවරණය වූ ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු ද ඇතුළු එහි පැමිණෙන සිසුන් සඳහා නිරෝධායන පහසුකම් සැපයීම වෙනුවෙන්, තානාපතිවරිය ඒඅයිටී ආයතනයේ සභාපතිතුමාට සහ කළමනාකරණයට සිය අවංක ස්තූතිය පළ කළාය.

භාරකාර මණ්ඩලයේ සභාපති ආචාර්ය ටොංචැට් හොංලදාරොම්ප් මහතා මෙම රැස්වීමේ මුලසුන දැරූ අතර, ඒඅයිටී ආයතනයේ සභාපති ආචාර්ය ඊඩ්න් වයි. වූන් මහතා, මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයින්, තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය ස්ථිර ලේකම් චුටිංටෝන් ගොන්සැක්ඩි මහතා, ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, මැලේසියාව, ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය යන රටවල තානාපතිවරු සහ බැංකොක්හි පිහිටි වියට්නාමය, පකිස්ථානය, ප්‍රංශය, කාම්බෝජය සහ කැනඩාව යන රටවල රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලවල නියෝජිතයින් ඊට සහභාගී වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය

බැංකොක්

2021 අගෝස්තු 11 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close