ජෝර්දානයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය සදහා ඉහළ ප්‍රමුඛතාවක්

ජෝර්දානයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය සදහා ඉහළ ප්‍රමුඛතාවක්

Image2

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජෝරදානය තුළ කෝවිඩ් 19 වසංගතය පැතිරීම පිළිබදව දැඩි විමසීමකින් පසුවන අතර එහි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය තහවුරු කිරීම සදහා පියවර ගනිමින් සිටියි. ජෝර්දානයේදී කෝවිඩ් 19 බලපෑමට ලක්ව ඇති හා තම රැකියාවල නියැළීමට අවස්ථාව අහිමි වූ ශ්‍රී ලාංකික පවුල් සදහා වියළි සලාක බෙදා දීම සදහා මෙම තානාපති කාර්යාලය අඛණ්ඩව කටයුතු කරයි. ශ්‍රී ලංකා රජයෙන් හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලද මූල්‍ය ආධාර මත මේ දක්වා පවුල් 576ක් අතරේ මෙම වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දී ඇත. මෙම ආහාර ද්‍රව්‍ය ඉතාමත්ම අත්‍යාවශ්‍ය වූ ශ්‍රී ලාංකිකයන්ට අදාළ අතිරේක ආහාර ද්‍රව්‍ය ක්‍රමානුකූලව බෙදා දීමේ දී සංක්‍රමිණකයන් පිළිබද ජාත්‍යන්තර සංවිධානය, ටැම්කීන් හා කැරිටාස් ආයතන දැක්වූ පරිත්‍යාගශීලීභාවය වෙනුවෙන් එම ආයතන සදහා මෙම තානාපති කාර්යාලය සිය කෘතඥතාව පළ කරයි.

මෙම වසංගත තත්ත්වයේ ආර්ථික බලපෑම හේතුවෙන් ඇතැම් ශ්‍රී ලාංකිකයන් සේවය කරන ලද කර්මාන්තශාලා වසා දැමීම හේතුවෙන් රැකියා අහිමි වූ ශ්‍රී ලාංකිකයන් 46 දෙනෙකු සදහා EAM Maliban Textiles, United Creations factory,  Prestige Factory, හා  MAS Kreeda යන ඇගළුම් කර්මාන්තශාලා සමග සාකච්ඡා කර නව රැකියා අවස්ථා ලබා දීමට මෙම කාර්යාලය කටයුතු කරන ලදි. මෙහිදී එම ආයතන දැක්වූ සහයෝගීතවය පිළිබදව ද එම ආයතන වෙත කෘතඥතාවය පළ කරනු ලැබේ.

මේ වන විට රැදවුම් මධ්‍යස්ථානවල රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සුබ සාධනය කෙරෙහි ද මෙම කාර්යාලය අවධානය යොමු කර ඇති අතර ඔවුන් සමග නිරන්තරයෙන් සම්බන්ධ වී සිටියි.  මේ වන විට කිසිදු ශ්‍රී ලාංකිකයකු  ජෝර්දානය තුළ කෝවිඩ් රෝගී තත්තවයෙන් නොපෙළෙන අතර මාර්තු මස අග භාගයේදී මෙම රෝගය වැළදුණු එක් ශ්‍රී ලාංකිකයකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇත. එහිදී එම රෝගියා සුවපත් කිරීම සදහා කැප වූ Prince Hamza රෝහලේ ජෝර්දාන වෛද්‍යවරුන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටද ඒ පිළිබදව කෘතඥතාවය පළ කරනු ලැබේ.

මෙම තානාපති කාර්යාලය ජෝර්දානයේ සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික ප්‍රජාවට අඛණ්ඩව සහය ලබා දෙන අතර එහිදී අඩ් ඩුල්ලේ හා කාරාන් පළාත්හි ස්ථිරව ඇතැම් කර්මාන්ත ශාලා වසා දැමීම හේතුවෙන් වැටුප් අහිමිවීම් වලට ලක් වූ ඇතැම් ශ්‍රී ලාංකිකයන්ගේ එම ගැටළු නිරාකරණය සදහා එම කර්මාන්තශාලා වෙත ගොස් අදාළ පාර්ශව සමග සාකච්ඡා කිරීමට ද මෙම කාර්යාලය මගින් සිදු කරන ලදි.

මෙම තානාපතිකාර්යාලය මේ වන විට ශ්‍රී ලංකාවට ආපසු යාමට අපේක්ෂා කරනු ලබන ශ්‍රී ලාංකිකයන් පිළිබද දත්ත එක් රැස් කරමින් සිටියි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
ජෝර්දානය

Image1

Print Friendly, PDF & Email
Please follow and like us:

Close