ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද “යුරෝපා සංගම් වෙළඳපොළේ කෘෂි නිෂ්පාදන අංශයේ ප්‍රවණතා” පිළිබඳ වෙබිනාර් සාකච්ඡාව සාර්ථකව අවසන් වේ

ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද “යුරෝපා සංගම් වෙළඳපොළේ කෘෂි නිෂ්පාදන අංශයේ ප්‍රවණතා” පිළිබඳ වෙබිනාර් සාකච්ඡාව සාර්ථකව අවසන් වේ

ජර්මානු හා පුළුල් යුරෝපා සංගම් වෙළඳපොළට ඇතුළු වීමට හෝ එහි ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකික අපනයනකරුවන්, සැකසූ ආහාර, ස්වාභාවික අමුද්‍රව්‍ය සහ නැවුම් නිෂ්පාදන අංශවල පවතින ප්‍රවණතා පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් යුතුව, ජර්මනියේ ආනයන ප්‍රවර්ධන අංශය සහ ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ එක්ව ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද “යුරෝපා සංගම් වෙළඳපොළේ කෘෂි නිෂ්පාදන අංශයේ ප්‍රවණතා” පිළිබඳ වෙබිනාර් සාකච්ඡාවක් 2021 ජුනි 30 වැනි දින පැවැත්විණි.

පිළිගැනීමේ අදහස් දක්වමින් ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති මනෝරි උනම්බුව මැතිනිය වෙළඳපොළ අවබෝධය ලබා ගැනීමේ අත්‍යවශ්‍යතාවය සහ එවිට ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට ඔවුන්ගේ නිෂ්පාදන නිවැරදිව ස්ථානගත කර නිවැරදි ගැනුම්කරුවන් ආකර්ෂණය කර ගත හැකි බව අවධාරණය කළාය. ජර්මානු හා පුළුල් යුරෝපා සංගමයට ඇතුළු වන විට අපනයනකරුවන් වඩාත් හොඳින් සූදානම් කිරීමට උපකාරී වන පරිදි, කෘෂි අංශයට අදාළ තත්ත්ව සහතික කිරීම, තිරසාර බව, වෙළඳපොළ පර්යේෂණ යනාදී මාතෘකා කෙරෙහි අවධානය යොමු කරමින් තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද වෙබිනාර් සාකච්ඡා මාලාවක පළමුවැන්න මෙය බව එතුමිය තවදුරටත් පැවසුවාය. 100% කාබනික කෘෂිකර්මාන්තය වෙත මාරුවීම සඳහා අතිගරු ජනාධිපතිතුමා ගත් තීරණය, යුරෝපා සංගම් වෙළඳපොලේ කාබනික නිෂ්පාදන සඳහා වැඩිවෙමින් පවතින ඉල්ලුම සපුරාලීම සඳහා ශ්‍රී ලංකාවට අමතර වාසියක් වනු ඇති බව ද තානාපතිවරිය අවධාරණය කළාය.

සිල්ලර වෙළෙඳපොළේ ගැනුම්කරුවෙකු ලෙස වසර 19 කට වැඩි කාලයක අත්දැකීම් සහිත, ආහාර කර්මාන්තය පිළිබඳ ජාත්‍යන්තර වෙළඳ උපදේශක ලිඩියා ගෙරාට් මහත්මිය සිය ප්‍රධාන දේශනය පවත්වමින්, කෘෂි නිෂ්පාදන සඳහා යුරෝපා සංගම් වෙළෙඳපොළෙහි වර්තමාන ප්‍රවණතා සහ ගුණාත්මක ප්‍රමිතීන්, තිරසාර බව සහ පරිසර හිතකාමී බව ඇතුළුව ආනයනකරුවන් උනන්දුවක් දක්වන ප්‍රධාන කරුණු පිළිබඳව ගැඹුරින් සලකා බැලුවාය. ප්‍රශ්නෝත්තර සැසියේ දී බොහෝ ශ්‍රී ලාංකික අපනයනකරුවන්ගේ ගැටළු පැහැදිලි කිරීමට ගෙරාට් මහත්මිය අවස්ථාව ලබා ගත්තාය. කාබනික කෘෂිකාර්මික ක්‍රමවේදයන් වෙත මාරුවීමේ ප්‍රතිපත්තිමය තීරණය පිළිබඳව තවදුරටත් ශ්‍රී ලංකාවට සුබ පැතූ ඇය, පසුගිය වසර කිහිපය තුළ දී කාබනික ආහාර නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම දෙගුණයක් වී ඇති බවත්, ශ්‍රී ලංකාවට එහි වාසිය ලබා ගනිමින් සිය ප්‍රතිරූපය නැවත සන්නාමය කොට, කාබනික ආහාර අංශයේ විශාල වෙළඳපොළ කොටසක් ලබා ගත හැකි බවත් සහතික කළාය.

ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට යුරෝපීය වෙළෙඳපොළට ඇතුළුවීම සඳහා සහාය දැක්වීමේ වර්තමාන වැඩපිළිවෙල පිළිබඳව කථා කළ බර්ලිනයේ ආනයන ප්‍රවර්ධන අංශයේ  මූලාශ්‍ර සහ වෙළඳපොළ පිළිබඳ විශේෂඥ මාරියා ගෝමස් සලමන්කා මහත්මිය, ශ්‍රී ලංකාව විශේෂඥ සම්පත් සොයා ගැනීම හා අපනයන සංවර්ධන මණ්ඩලය සහ වෙනත් සංගම් සඳහා සහාය වීම සඳහා සෘජු ආයෝජනයක් සහිත කේන්ද්‍රස්ථානයක් ලෙස ආනයන ප්‍රවර්ධන අංශය සලකන බව නිවේදනය කළාය.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ද මෙල් මහතා සිය සමාප්ති දේශනයේ දී මෙම කාලෝචිත වෙබිනාර් සාකච්ඡාව සංවිධානය කිරීම පිළිබඳව සිය ප්‍රශංසාව පළ කළ අතර, ශ්‍රී ලංකා කෘෂි අංශයේ අපනයනකරුවන්ට ඔවුන්ගේ ප්‍රයත්නයන් සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් අඛණ්ඩව සහයෝගය ලබා දෙන බවට සහතික විය.

ශ්‍රී ලංකාවේ විශාල සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සමාගම්වල වගාකරුවන් සහ නිෂ්පාදකයින්ගේ හිතකර හරස්කඩක් නියෝජනය කරමින් මෙම වෙබිනාර් සාකච්ඡාව සඳහා 240 දෙනෙක් සහභාගී විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බර්ලින්

2021 ජූලී 04වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close