මෙරට සංචාරයේ නියුතු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ සාකච්ඡා පවත්වයි

මෙරට සංචාරයේ නියුතු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ සාකච්ඡා පවත්වයි

එක්දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අද (04) පස්වරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා බැහැදැක ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූයේය. එදින උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි අමාත්‍ය ආචාර්ය ජයශංකර් මහතා විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය විසින් පිළිගනු ලැබිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රජය සැප්තැම්බර් 22 වැනිදා බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි පළමු ඉහළ පෙළේ විදේශීය ප්‍රභූවරයා ආචාර්ය ජයශංකර් මහතා වේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ සංචාරයේ ප්‍රධාන අරමුණ වූයේ නව ජනාධිපතිවරයාට සහ රජයට සුබ පැතුම් පිරිනැමීම සහ ශක්තිමත් ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය සමඟ ඉදිරියට යාමට ඉන්දියාවේ කැපවීම ප්‍රදර්ශනය කිරීමයි.

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවේදී ආර්ථික සහ සංවර්ධන සහයෝගීතාව, සමාජ ආරක්ෂණය, සංස්කෘතිය, කලාපීය සහ බහුපාර්ශ්වික වේදිකාවල සහයෝගීතාව මෙන්ම ධීවර කර්මාන්තය ඇතුළුව අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු විය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින විශිෂ්ට ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සඳහා ඉන්දියාව දක්වන සහාය විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සතුටින් පිළිගත්තේය. විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් මහතා සිය ශ්‍රී ලංකා පාර්ශ්වකරුට  සිය ධූරයේ වැඩ භාර ගැනීම පිළිබඳව සුබ පැතුම් එක් කළ අතර, සමීප අසල්වැසියාගේ ආර්ථික ප්‍රකෘතිය සහ ස්ථාවරත්වය සඳහා ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කළේය ‘අසල්වැසියාට ප්‍රමුඛත්වය’ යන ඉන්දීය ප්‍රතිපත්තියේ කේන්ද්‍රස්ථානය ශ්‍රී ලංකාව බව සඳහන් කළ අමාත්‍ය ජයශංකර් මහතා විදේශ අමාත්‍ය විජිත හේරත් සහ නව රජය සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සම්බන්ධ වී සිටි අතර, එහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අමුත්තන්ගේ පොතට අත්සන් තැබුවේය.

විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සිය පාර්ශ්වකරු සහ ඔහුගේ නියෝජිත පිරිස සඳහා දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වූයේය.

විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් මහතා කොළඹට පැමිණි අවස්ථාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය බැහැදුටුවේය. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙනුවෙන් අමාත්‍ය ජයශංකර් මහතා ජනාධිපති අනුර දිසානායක මහතාට අන්‍යෝන්‍ය වශයෙන් පහසු දිනයකදී ඉන්දීය සංචාරයක නිරත වීම සඳහා ආරාධනා කළේය.

අමාත්‍ය ජයශංකර් මහතා සමඟ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු දූත පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 ඔක්තෝබර් 04 වැනි දින

 

   

Print Friendly, PDF & Email
Please follow and like us:

Close