සත්‍යය, යුක්තිය, හානිපූර්ණය සහ ගැටුම් නැවත ඇති නොවීම පිණිස වන සහතිකවීම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කරයි

සත්‍යය, යුක්තිය, හානිපූර්ණය සහ ගැටුම් නැවත ඇති නොවීම පිණිස වන සහතිකවීම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කරයි

සත්‍යය, යුක්තිය, හානිපූර්ණය සහ ගැටුම් නැවත ඇති නොවීම පිණිස වන සහතිකවීම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රෙයිෆ් මහතා ශ්‍රී ලංකා රජයේ ආරාධනාව මත 2017 ඔක්තෝබර් මස 10 සිට 23 දින දක්වා මෙරට නිල සංචාරයක නිරත වෙයි.

මෙම නිල සංචාරය අතරතුර එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා, අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මධ්‍යම රජයේ සහ පළාත් මට්ටමේ රාජ්‍ය නිලධාරීන්, සිවිල් සමාජයේ සාමාජිකයන්, ආගමික නායකයන්, විද්වතුන් සහ ශ්‍රී ලංකාවේ සිටින ජාත්‍යන්තර ප්‍රජාවේ නියෝජිතයන්හ මුවීමට නියමිතය. ඔහු ත්‍රිකුණාමලය, මන්නාරම, අනුරාධපුරය, යාපනය, කිලිනොච්චිය, වවුනියාව, මහනුවර සහ මාතර යන ප්‍රදේශවලද සංචාරය කරනු ඇත. යාපනයේදී සහ කොළඹදී ප්‍රසිද්ධ දේශන දෙකක් පැවැත්වීමට නියමිත විශේෂ නියෝජිතවරයා, නිල සංචාර අවසානයේදී සියලු විශේෂ නියෝජිතවරුන් කරන ආකාරයට, ඔක්තෝබර් 23 වැනි දින සිය සංචාරය නිමා කරමින් මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමටද නියමිතය. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරුන්ට නියම වී ඇති පරිදි ඔහු සිය නිල සංචාරය පිළිබඳ වාර්තාවක් 2018 සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරනු ඇත.

මෙතෙක් ශ්‍රී ලංකාවේ බලයට පත්වූ රජයන් රැසක්ම විශේෂිත තේමාත්මක කරුණු සම්බන්ධයෙන් එවැනි විශේෂ නියෝජිතයන්ගේ අදහස් සහ විශේෂඥ උපදෙස් ලබාගැනීම සඳහා ඔවුන්ට මෙරටට පැමිණීමට ආරාධනා කොට ඇත. විශේෂ නියෝජිතවරුන් දෙන උපදෙස් හෝ නිර්දේශ ක්‍රියාත්මක කිරිමට රජයන් බැඳී නැති මුත්, සම්පත් දායකයන් ලෙස කටයුතු කරන ඔවුන්ගේ විශේෂඥ දැනුමෙන් සහ අත්දැකීම්වලින් ප්‍රයෝජන ලැබීමට රජයන්ට හැකියාව තිබේ. ආයතනවල ශක්‍යතා වර්ධනය, ප්‍රතිපත්ති සකස්කිරීම, ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය සහ පුහුණු අවශ්‍යතා ආදිය විෂයෙහි වාසිදායක වන ආකාරයෙන්, රජයකට අවශ්‍යයැයි හැඟෙන පරිද්දෙන්  ඔවුන්ගේ උපදෙස් සහ විශේෂඥභාවය ලබා ගැනීමට රටවල්වලට හැකිය.

මේ නිල සංචාරය සම්බන්ධයෙන් සාවද්‍ය සහ නොමඟ යවනසුළු තොරතුරු සැපයූ මාධ්‍ය වාර්තා කිහිපයක් කෙරෙහි මෙම අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

එක්සත් ජාතීන්ගේ අන් සියලු විශේෂ නියෝජිතවරුන් මෙන්ම ඩි ග්‍රෙයිෆ් මහතාද විශේෂිත වූ විෂය පථයක් පිළිබඳ ස්වාධීන ප්‍රාමාණිකයෙකි. තේමාත්මක හෝ රටකට විශේෂිත ප්‍රවේශයක් මගින් මානව හිමිකම් සම්බන්ධයෙන් වාර්තා කිරීමටත් රජයන්ට උපදෙස් දීමටත් විශේෂ නියෝජිතවරුන්ට බලය ලබා දී තිබේ. ඩි ග්‍රෙයිෆ් මහතාගේ විෂය පථය තේමාත්මක එකකි. වසර 2011 දී මානව හිමිකම් කවුන්සිලය විසින් අනුමත කරන ලද ඔහුගේ විෂය පථය වනුයේ සත්‍යය, යුක්තිය, හානිපූර්ණය සහ ගැටුම් නැවත ඇති නොවීම පිණිස වන සහතිකවීම් ප්‍රවර්ධනය කිරීමය. මේ අංශ වනාහී ප්‍රතිසන්ධානය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම, ආරක්ෂක පද්ධතියේ ස්වාධීන පාලනය ස්ථාපිත කිරීම, රාජ්‍ය ආයතනයන් කෙරෙහි ඇති විශ්වාසය යළි තහවුරු කිරීම සහ නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීම ආදිය මත අවධානය යොමු කරන, සංක්‍රාන්ති යුක්තිය උදෙසා වන විස්තීර්ණ ප්‍රවේශයක මූලිකාංග සතර වෙයි. මානව හිමිකම් කවුන්සිලයෙන් ඒ මහතාට ලැබී ඇති වරම අනුව මානව හිමිකම් උල්ලංඝණයවීම් සම්බන්ධයෙනුත්, බරපතල ලෙස ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝණයවීම් සම්බන්ධයෙනුත් පිළියම් යෙදීම සඳහා උපාය මාර්ග, ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග සැලසුම් කිරීමේදීත් ඒවා ක්‍රියාත්මක කිරීමේදීත් ගන්නා වූ අධිකරණමය සහ අධිකරණමය නොවන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සිය නිර්දේශයන් ඉදිරිපත් කිරීමටත්, රටවල්වලට උපදෙස් සැපයීමටත් ඔහුට හැකිය. සිය කාර්යයන්හීදී වින්දිත-මූලික ප්‍රවේශයක් අනුගමනය කරන විශේෂ නියෝජිතවරයා එයට පුමතිරිභාවය පිළිබඳ පර්යාලෝකයක්ද සපයයි. වින්දිත-මූලික ප්‍රවේශය යන්නෙන් අදහස් කරන්නේ ගැටුම් තත්ත්වයකින් විපතට පත් වූ සියල්ලන් විෂයෙහි කටයුතු කරනු විනා විපතට පත් එක් කණ්ඩායමක් හෝ එක් ජනසමූහයක් කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම නොවේ.

අන් සෑම විශේෂ නියෝජිතයෙකු මෙන්ම ඩි ග්‍රෙයිෆ් මහතාද රටවල්වල නිල වශයෙන් සංචාරය කරන්නේ ඒ රටවල රජයන්ගෙන් ලැබෙන ආරාධනාවන් මතය. මේ වන විට ඔහු නිල වශයෙන් කළ සංචාර අතර එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය, ටියුනීසියාව, උරුගුවේ, බුරුන්ඩි සහ ගැම්බියාව යන රටවලට කළ සංචාර ඇතුළත් වේ. රටවල්වල ආරාධනා මත ඒ රටවල්වල සංචාරයේ යෙදෙන, ස්වාධීන විශේෂඥයන් වශයෙන් විශේෂ නියෝජිතවරු කටයුතු කරති. ඔවුන්ගේ ධුර කාලය තීරණය කරනු ලබන්නේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් විසිනි.

2018 සැප්තැම්බර් මාසයේදී ඩි ග්‍රෙයිෆ් මහතා සිය වාර්තාව මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කළ විට, ඔහුගේ නිර්දේශ අතර ශ්‍රී ලංකාවේ ජනතාවට වාසිදායකයැයි රජය සලකන නිර්දේශ තිබේ දැයි තීරණය කිරීමද, ඔහුගේ දැනුමෙන්, විශේෂඥභාවයෙන් හා උපදෙස්වලින් ප්‍රයෝජන ලබමින් තව දුරටත් යම් ආකාරයකින් ඔහුගේ උපදෙස් පතන්නේද යන්න තීරණය කිරීමද ශ්‍රී ලංකා රජයට අයත් කාර්යකි.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ 01

2017 ඔක්තෝබර් 10

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close