එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් පුළුල් කිරීමට දෙරටේ අවධානය යොමු වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් පුළුල් කිරීමට දෙරටේ අවධානය යොමු වෙයි

                                           

එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා ශ්‍රී ලංකාව  අතර ගුවන් සේවා පුළුල් කිරීමට දෙරටේ අවධානය යොමුව තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය අමාත්‍ය අහමඩ් අලි අල් සයේග් මහතා හා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් මැයි මස 31 වැනි දින පැවැති අතථ්‍ය රැස්වීමකදී මේ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කර ඇත. දෙරටේ ආයෝජන සහ වෙළඳාම වැඩි දියුණු කිරීම සඳහා රටවල් අතර යෝජිත ආයෝජන ප්‍රවර්ධන ගිවිසුම ළඟදීම අවසන් කළ හැකි බවද අමාත්‍ය ගුණවර්ධන මහතා මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලාංකික කම්කරුවන්ගේ ආරක්ෂාව හා සුබ සාධනය සැපයීම සම්බන්ධයෙන්ද අමත්‍යවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ශ්‍රී ලංකා රජයේ කෘතඥතාව පළ කළේය.

අමාත්‍යවරු දෙපළ ද්විපාර්ශ්වික සබඳතා සහ බහුපාර්ශ්වික වේදිකාවල අන්‍යෝන්‍ය සහයෝගය වැඩි දියුණු කිරීම පිළිබඳව ද මෙහිදී  සාකච්ඡා කළහ. එසේම, දෙරට අතර ගුවන් සේවා පුළුල් කිරීමට ද අමාත්‍යවරු දෙදෙනා එකඟ වූහ.

කොවිඩ්-19 අභියෝගයන් ජය ගැනීමට සහ අනාගතයේ දී දෙරටේ සංවර්ධනය සමඟ අඛණ්ඩව ඉදිරියට යාමට හැකිවන පරිදි සහයෝගීතාවයෙන් හා අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව අමාත්‍ය ගුණවර්ධන මහතා දැනුම් දුන්නේය.

අමාත්‍යවරු දෙදෙනාට අමතරව විදේශ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති මල්රාජ් ද සිල්වා මහතා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ මෙම අථත්‍ය රැස්වීමට සහභාගී වූහ.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 ජූනි මස 02 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close