වියට්නාම් ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා මඟින් කාබනික ගොවිතැන, තොරතුරු තාක්ෂණ අංශයේ ආයෝජන සහ සංචාරක කර්මාන්තයේ දියුණු කෙරේ

වියට්නාම් ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා මඟින් කාබනික ගොවිතැන, තොරතුරු තාක්ෂණ අංශයේ ආයෝජන සහ සංචාරක කර්මාන්තයේ දියුණු කෙරේ

කොළඹ සිටින වියට්නාම තානාපති හෝ ති තන් ටෘක් මැතිනිය 2021 ජූලි 13 වැනි දින විදේශ අමාත්‍යංශ පරිශ්‍රයේදී ප්‍රාදේශීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා හමුවූවාය.

දෙරට අතර පැවති දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව යළි අවධාරණය කරමින්, ශ්‍රී ලංකා රජයේ ප්‍රධාන අවධානය අග්නිදිග ආසියානු කලාපයේ රටවල් සමඟ ආර්ථික සංවර්ධනය, සංචාරක කටයුතු හා වෙළඳ සබඳතා ගොඩනැගීම කෙරෙහි යොමු වී ඇති බව රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා සඳහන් කළේය.

දෙරට අතර පවතින සමීප ආගමික සබඳතා සැලකිල්ලට ගනිමින් රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා, විහාරස්ථාන අතර සම්බන්ධතා පිළිබඳ සහයෝගිතාව යථා තත්ත්වයට පත් කිරීමේ වැදගත්කම අවධාරණය කළ අතර, දෙරට අතර ආගමික හා සංස්කෘතික වශයෙන් උනන්දු වන කරුණු බෙදාහදා ගැනීම සඳහා වියට්නාම් බෞද්ධ විහාරස්ථාන සමඟ සම්බන්ධ වීම සඳහා කැමැත්ත ප්‍රකාශ කළේය.

මෙම රැස්වීමේ දී, වියට්නාමයේ කාබනික ගොවිතැන හඳුන්වා දීමට වියට්නාම් රජය ගෙන ඇති පියවර පැහැදිලි කළ තානාපති ටෘක් මැතිනිය, එම අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදාහදා ගැනීමට කැමැත්ත ප්‍රකාශ කළාය. මේ වන විට දෙරට අතර කෘෂිකාර්මික සංවර්ධන සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී.

ශ්‍රී ලංකාවේ හා වියට්නාමයේ තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රය තුළ තවදුරටත් සබඳතා ඇති කර ගැනීමේ හැකියාව පිළිබඳව ගවේෂණය කළ රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා, කොළඹ වරාය නගරය පිළිබඳ මාර්ග සංදර්ශනයක් පැවැත්වීමට එකඟ වූ අතර, එමඟින් වියට්නාම් ආයෝජකයින්ට තොරතුරු තාක්ෂණ හා මෘදුකාංග වැනි ක්ෂේත්‍රවල ආයෝජනය කිරීම සඳහා අවස්ථාව ලැබෙනු ඇත.

වියට්නාමයෙන් සංචාරකයින්ගේ පැමිණීම ඉහළ නැංවීමේ හැකියාව පැහැදිලි කරමින් රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා, ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය පිළිබඳ වැඩසටහන්  වියට්නාම් භාෂාවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කිරීම මඟින් වියට්නාමයේ සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා පහසුකම් සැලසිය හැකි බව අවධාරණය කළේය. ඊට ප්‍රතිචාර දක්වමින්, වියට්නාම් තානාපති ටෘක් මැතිනිය සංචාරක ව්‍යාපාරය දිරිගැන්වීම සඳහා ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සෘජු ගුවන් සම්බන්ධතාවයක් ඇති කිරීමේ වැදගත්කම අවධාරණය කළාය.

කොළඹ විදේශ අමාත්‍යාංශයේ සහ වියට්නාම් තානාපති කාර්යාලයේ නිලධාරීන් මෙම රැස්වීමට සඳහා එක්විය.

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2021 ජූලි 13 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close