
විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ආරාධනයෙන් ඉන්දුනීසියානු ජනරජයේ විදේශ කටයුතු පිළිබඳ උප අමාත්‍ය මුහම්මද් අනිස් මට්ටා, 2026 අප්‍රේල් 23 සිට 25 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විය.
මෙම සංචාරය අතරතුර, උප අමාත්‍ය මට්ටා 2026 අප්‍රේල් 24 වැනි දින නියෝජ්‍ය අමාත්‍ය හේමචන්ද්‍ර සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීය. ඉන්දුනීසියානු උප අමාත්‍යවරයා පිළිගනිමින්, නියෝජ්‍ය අමාත්‍ය හේමචන්ද්‍ර දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳව අදහස් දක්වමින්, ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන කැපවීම නැවත අවධාරණය කළේය. ආර්ථික කටයුතු කෙරෙහි අවධානය යොමු කරමින් පවතින වෙළෙඳ පරිමාව ඉහළ මට්ටමකට වැඩි කිරීම සඳහා ක්‍රම හා විධි වැඩි දියුණු කිරීමේ වැදගත්කම උප අමාත්‍ය මට්ටා සඳහන් කළේය. ඉදිරි වසරවලදී උපායමාර්ගික හවුල්කාරිත්වයක මට්ටමට ද්විපාර්ශවික සබඳතා ඉහළ නැංවීමේ අරමුණින් සමීප සම්බන්ධතා වර්ධනය කිරීම සඳහා ද්විපාර්ශවික දේශපාලන උපදේශන කල්තියා පැවැත්වීමේ වැදගත්කම සහ ඉහළ මට්ටමේ සංචාර හුවමාරු කර ගැනීමේ වැදගත්කම පිළිබඳව දෙපාර්ශ්වය අවධාරණය කළහ. ප්‍රයෝජනයට නොගත් විභවයන් භාවිතා කිරීම ආරම්භ කිරීමේ පුළුල් සන්දර්භය තුළ, දෙරට අතර පුද්ගල සම්බන්ධතාව, සමුද්‍රීය සහයෝගීතාව සහ සංස්කෘතික හුවමාරු ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ වැඩසටහන් පිළිබඳව ද දෙපාර්ශ්වය සාකච්ඡා කළහ.
උප අමාත්‍ය මට්ටා, 2026 අප්‍රේල් 24 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා හමුවිය. මෙම රැස්වීමේදී, දෙපාර්ශවය අතර ද්විපාර්ශවික දේශපාලන උපදේශන පිළිබඳ අවබෝධතා ගිවිසුමක් පිළිබඳව සහ දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සහ නිල විදේශ ගමන් බලපත්‍ර සඳහා වීසා රහිතව සංචාරය කිරීම පිළිබඳ ගිවිසුමකට අදාළ ක්‍රියාවලීන්හි අවසන් අදියරට පැමිණ ඇති බව සඳහන් කළහ. නුදුරු අනාගතයේ දී ඒවා අවසන් කිරීමට සහ ද්විපාර්ශවික දේශපාලන උපදේශන සහ ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම ඉක්මනින් පැවැත්වීමට දෙපාර්ශවයටම හැකි වනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු වූහ. අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය සහ ගෝලීය වර්ධනයන් පිළිබඳව දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගත් අතර, කලාපයේ සාමය, ස්ථාවරත්වය සහ තිරසාර සංවර්ධනය ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ගේ හවුල් කැපවීම නැවත අවධාරණය කළහ. 2027 වසරේදී ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල එළැඹෙන 75 වැනි සංවත්සරය සැලකිල්ලට ගනිමින්, ඉහළ මට්ටමේ සංචාර හුවමාරු කර ගැනීමේ වැදගත්කම පිළිබඳව දෙපාර්ශවයම එකඟ වූහ.
සිය සංචාරය අතරතුර, උප අමාත්‍ය මට්ටා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාද හමුවූයේය.
ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිවරයා, ඉන්දුනීසියානු විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම රැස්වීම්වලට සහභාගී වූහ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ 01
2026 අප්‍රේල් 29 වැනි දින





