මත් ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ (UNODC) මෙහෙයුම් අධ්‍යක්ෂ මිවා කතෝ මහත්මිය විදේශ අමාත්‍ය ගුණවර්ධන මහතා බැහැ දකියි

මත් ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ (UNODC) මෙහෙයුම් අධ්‍යක්ෂ මිවා කතෝ මහත්මිය විදේශ අමාත්‍ය ගුණවර්ධන මහතා බැහැ දකියි

Image1

 

මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ මෙහෙයුම් අධ්‍යක්ෂිකා මිවා කතෝ මහත්මිය 2019 නොවැම්බර් 28 වන දින මෙම අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බැහැ දුටුවාය.

ශ්‍රී ලංකාව සහ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය අතර විශේෂයෙන්, සමුද්‍රීය අපරාධ වැළැක්වීම සම්බන්ධයෙන් වැඩි වශයෙන් කටයුතුවල නියැලීම පිළිබඳව අමාත්‍යවරයා සිය ප්‍රශංසාව පුද කළේය. දශක තුනකට ආසන්න කාලයක් පුරා රට විනාශ මුඛයට ඇද දැමූ වසර 30 ක බෙදුම්වාදී ත්‍රස්ත ගැටුමේන් මිදී ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වන අවස්ථාවක, ප්‍රචණ්ඩකාරී අන්තවාදය සහ නීති විරෝධී අපරාධවල වෙනත් ස්වරූප, ශ්‍රී ලංකාවේ ආර්ථික ගමන් මඟට බාධා ඇති කරන බව ඔහු අවධාරණය කළේය. දීර්ඝ කාලීනව ගැටළු විසඳීම සඳහා සුදුසු ක්‍රමවේදයන් හා ක්‍රියා පටිපාටි සොයා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය සමඟ ශ්‍රී ලංකාව කටයුතු කිරීමට අපේක්ෂා කරන්නේ මෙවැනි සන්දර්භයක් තුළ ය.

ශ්‍රී ලංකාවට අයත්  මුහුදු තීරයේ සහ ඉන් ඔබ්බෙහි මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව සහ ශ්‍රී ලංකාව සහ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය අතර සහයෝගීතාවයට, මත්ද්‍රව්‍ය ජාවාරම් ප්‍රයත්න රැසක්  වළක්වා ගැනීමට හැකි වී තිබෙන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම සාකච්ඡාවේ දී මූලික අවධානය යොමු කරන ලදී.  නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමේහිලා ශ්‍රී ලංකාව යෙදූ ප්‍රයත්න සහ එහිදී ලබා ගත් ජයග්‍රහන, මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ පැසසීමට ලක්විය. තවද, මත්ද්‍රව්‍ය ජාවාරම ව්‍යාප්ත කිරීමට දායක වන බන්ධනාගාර තුළ සිදුවන අපරාධකාරී මෙහෙයුම්වලට විසඳුම් ලබා දීම සඳහා,  නුසුදුසු තත්වයන් පාලනය කිරීමේ අරමුණින් බන්ධනාගාර කාර්ය මණ්ඩලයේ ධාරිතා සංවර්ධනය කිරීම ඇතුළුව, ප්‍රායෝගික ක්‍රමයක් සොයා ගැනීමට දෙපාර්ශ්වයම කැපවී සිටින බව තහවුරු කළහ.

ශ්‍රී ලංකා බලධාරීන්ගෙන්, විශේෂයෙන්, විදේශ සබඳතා අමාත්‍යාංශයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ලැබුණු විශිෂ්ට සහයෝගීතාව මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය අගය කළ අතර, පැමිණීම, ගොඩවීම, සෙවීම හා අල්ලා ගැනීම (VBSS) පුහුණු මෙම කළාපයේ රටවලට ලබා දීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් ලබා දෙන ලද සහය පිළිබඳව කරුණු පැහැදිලි කළේය.

රටට ප්‍රායෝගික ප්‍රතිලාභ ගෙන එන ඉතා දියුණු උපකරණවල සහය ලබන යෝග්‍ය තාක්ෂණයන් මාරු කිරීම ඇතුළුව මත්ද්‍රව්‍ය ජාවාරම සහ අනෙකුත් සමුද්‍රීය අපරාධ මැඩලීම සඳහා දේශීය ධාරිතාවය සංවර්ධනය කිරීම සඳහා පූර්ණ සහය දිගුකාලීනව ශ්‍රී ලංකාවට අවශ්‍ය වන බව විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා අවධාරණය කළේය. ශ්‍රී ලංකාව ‍ප්‍රධානත්වය දරන, සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) ක්‍රියාකාරී කණ්ඩායම හරහා විශේෂයෙන්, ඉන්දියන් සාගරයේ සමුද්‍රාරක්‍ෂක හා සුරක්ෂිතතා ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවත්නා ශක්තිය, මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක‍්සත් ජාතීන්ගේ කාර්යාලයේ සහය මඟින් වර්ධනය වී ඇති බව ලේකම්වරයා තවදුරටත් සඳහන් කළේය.

මධ්‍යස්ථභාවය සහ සියලු රටවල සමඟ කටයුතු කිරීම කෙරෙහි අවධානය යොමු කරන රජයේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව ද, ජනාධිපතිතුමා විසින් අවධාරණය කළ පරිදි ශක්තිමත් සාගර ප්‍රතිපත්තියක් ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාව සූදානමින් සිටීම පිළිබඳව ද අමාත්‍යවරයා අවධාරණය යොමු කළේය.

අමාත්‍යාංශයේ සාගර කටයුතු, පරිසර හා දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් හසන්ති දිසනායක මහත්මිය, 2018 ඔක්තෝබර් මාසයේදී පවත්වන ලද “ඉන්දියන් සාගරය: අපගේ අනාගතය නිශ්චය කරයි” පිළිබඳ ට්‍රැක් 1.5 සමුළුව සහ 2019 අගෝස්තු මාසයේ දී පැවති සමුද්‍රිය ආරක්ෂාව හා සුරක්ෂිතභාවය පිළිබඳ ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ ක්‍රියාකාරී කණ්ඩායමේ පළමු රැස්වීම සඳහා මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ලබා දෙන ලද සහය සම්බන්ධයෙන් සිය ප්‍රශංසාව පුද කළ අතර නුදුරු අනාගතයේ දී පැවැත්වීමට නියමිත ට්‍රැක් 1 සමුළුවට සහයෝගය දැක්වීමට ඉදිරිපත්වීම වෙනුවෙන් සතුට පළ කළාය.

අධ්‍යක්ෂිකා කතෝ මහත්මිය සමඟ, මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සමුද්‍රීය අපරාධ වැඩසටහනේ ප්‍රධානී ඇලන් කෝල් මහතා හා මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකා කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙක් ද, විදේශ ලේකම් හා විදේශ සබඳතා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

 

විදේශ සබඳතා අමාත්‍යාංශය
කොළඹ
29 නොවැම්බර් 2019

Image2

Print Friendly, PDF & Email
Please follow and like us:

Close