ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වැනි සැසිවාරය අමතා කරන ලද කථාව- 2017 සැප්තැම්බර් මස 19 වැනිදා, නිව්යෝර්ක්

ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වැනි සැසිවාරය අමතා කරන ලද කථාව- 2017 සැප්තැම්බර් මස 19 වැනිදා, නිව්යෝර්ක්

SL-Pres

 

ඔබ සියලු දෙනාටම සුභ සන්ධ්‍යාවක් වේවා!

ගෞරවනීය සභාපති තුමනි,

සියලුම රාජ්‍ය නායකයිනි,

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  ගෞරවනීය  මහ ලේකම් තුමනි,

සියලුම ආරාධිත අමුත්තනි,

 

මා ඉතාමත්ම සතුටු වෙනවා 72 වන සමුළුවේ විශේෂයෙන්ම නව ලේකම් වරයෙක්, මහ ලේකම් තුමෙක් පත්වූ අවස්ථාවේ එතුමාට සුභ පතමින් මගේ කතාව ආරම්භ කිරීමට ලැබීම පිළිබඳව.  විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස තුන්වන වරටත් මේ ගරු සභාව ඇමතීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.

 

මේ 72 වන සමුළුවේ ප්‍ර‍ධාන තේමාව වන්නේ  තිරසර ලොවක් මත සෑම මිනිසකුටම වැදගත් ජීවිතය සහ සාමය සඳහා ප්‍රයත්නය යන්නයි.  අද ලෝකය තුළ පවතින, ජාත්‍යන්තරය තුළ පවතින විවිධ තත්ත්වයන් සැලකිල්ලට ගත්විට මෙය ඉතාමත් කාලෝචිත වූ තේමාවක් වශයෙන් හැඳින්වීමට පුළුවන්.  2015 වසරේ ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වූ මා, එසේ පත්කරවීමට පෙර මගේ රටේ ආදරණීය ජනතාවට මා දුන් පොරොන්දු ප්‍ර‍තිඥා කිහිපයක් තිබෙනවා.  එහිදී විශේෂයෙන්ම සඳහන් කළේ ලෝකයේ කිසිම රටක කිසියම් නායකයෙකුට නොතිබුණු අසීමිත බලයක් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයාට තිබුණු බැවින්  මා බලයට පත්වීමෙන් පසු එම  අසීමිත   බලය    ජනාධිපති ධූරයෙන් ඉවත් කර,   පාර්ලිමේන්තුව සඳහා පවරනු ලබන බවයි. බලයට පත්වූ නායකයෙක් එවැනි අසීමිත බලතල රාශියක් සිය ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාව තුළ, සිය තනතුර තුළ  තිබියදී එම බලය බලයේ සිටින අවස්ථාවේ තමා විසින්ම අත්හළ පාර්ලිමේන්තුවට පැවරූ නායකයෙක් විදිහට මගේ රටේ ජාතික දේශපාලනයටත්, ජාත්‍යන්තර දේශපාලනයටත්  බලය අත්හැරීම පිළිබඳව ආදර්ශය මා විසින් දී තිබෙනවා.  ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය සුරැකින, පෝෂණය කරන රටවල් ලෙස ප්‍ර‍ධාන වශයෙන්ම බලයට පත්වන නායකයින් ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය ආරක්ෂා කිරීමත්,  බලය නිසි ලෙස පාවිච්චි කිරීමත්, සාධාරණ සමාජයක් ගොඩනැගීම සඳහා සිය බලය භාවිතා කිරීමත් ඉතාමත් වැදගත් වෙනවා.  නමුත්, ගෙවී ගිය දශක කිහිපයත් ලෝක ඉතිහාසයත්  ගත් විට පෙනී යන්නේ බලයට පත්වන බොහෝ නායකයින් බලයෙන් යෑමට, බලයෙන් ඉවත්වීමට තිබෙන්නාවූ අකමැත්ත තුළ, එම තමාගේ රට තුළ සාමය බිඳීම සාමය නැතිවීම මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද විවිධ බෙදීම්, අසමගිකම් සඳහා බලපාන බවයි.  එවැනි ‍ ‍ඓතිහාසික සිද්ධාන්ත, තොරතුරු ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් අපට අවබෝධයන් රාශියක් තිබෙනවා.  මේ සියලු තත්ත්වයන් තුළ මගේ රටේ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය තහවුරු කරමින්, ආඥාදායක ගමනක් ගිය, තනි බලයක් පාවිච්චි කරමින් අසීමිත  බලයක් ගිය දේශපාලන කණ්ඩායම් ඉවත් කර රට තුළ ජනතාවගේ නිදහස, ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය සහතික කරමින් මානව හිමිකම් ආරක්ෂා කරමින්, මූලික අයිතිවාසිකම් පෝෂණය කරමින් ගෙවීගිය අවුරුදු දෙක හමාරක කාල සීමාව මා සාර්ථක ගමනක් පැමිණි බව විශේෂයෙන්ම මේ ගෞරවනීය උත්තරීතර සභාවට ප්‍ර‍කාශ කරන්නට ඕනෑ.

 

2017 මේ වර්ෂය අපේ රටේ සංවර්ධනය තුළ නම් කරනු ලැබුවේ දුගී බවෙන් නිදහස් වීමේ වර්ෂය වශයෙන්.  දුගී බවෙන් නිදහස් වීම සදහා අපේ රට මෙන්ම, මගේ රට මෙන්ම අද මුළු මහත් ලෝකය විශාල ප්‍ර‍යත්නයක, ව්‍යායාමයක යෙදී සිටිනවා. දුගී බවෙන් නිදහස් වීමේ වර්ෂය වශයෙන් 2017 වර්ෂය නම් කරමින්, මේ වර්ෂය මගේ රට තුළ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ සංවර්ධන ව්‍යාපෘති රාශියක් ආරම්භ කරනු ලැබුවා.  ඔබත්, මුළු ජාත්‍යන්තරයත් දන්නා පරිදි ශ්‍රී ලංකාවේ අවුරුදු 30 කට ආසන්නව තිබූ අභ්‍යන්තර යුද්ධය රටේ ආර්ථිකය බිඳ හෙළනු ලැබුවා. රටේ ආර්ථිකය දුර්වල කරනු ලැබුවා.  රට තුළ රට බෙදීමට සටන් කළ ත්‍ර‍ස්තවාදී ව්‍යාපාරය, අපට පුළුවන් කම ලැබුණා ඒ ත්‍ර‍ස්තවාදීන් පරාජය කරලා  රටේ සාමය ඇති කරලා, ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය තහවුරු කරලා, නිදහස් සාමකාමී රටක් විදියට මගේ රට ගෙනයෑම සඳහා. මේ යුද්ධයෙන් ලැබූ ආර්ථික අවාසිය ආර්ථික පසුබැසීම් සමග රට තුළ ඇතිවූ පසුබෑම්, ඒ සියල්ලෙන් ලබාගත් පාඩම් සමග තිරසර සංවර්ධන ඉලක්ක කරා යමින්, මගේ රටේ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට, දේශීය කෘෂිකර්මාන්ත, දේශීය කර්මාන්ත, දේශීය කාර්මීකරණය තුළ තව පිටුවක් අප විසින් පෙරලනු ලැබුවා.  

 

ප්‍ර‍ධාන වශයෙන්ම තිරසර සංවර්ධන ඉලක්ක සම්පූර්ණ කිරීමේදී පරිසර සංරක්ෂණයට මුල්තැන දීම මගේ රජයේ ප්‍ර‍මුඛ කාරණයක් බවට පත්වුණා.  විශේෂයෙන් මෙහිදී සදහන් කරන්නට ඕනෑ, අද මගේ රට වගේම මුළු ලෝකය වශයෙන් ගත්විට අද ඇමෙරිකා එක්සත් ජනපදය පවා  කාලගුණික, දේශගුණික විපර්යාසයන් සමග ඉතාමත්ම බරපතල තත්ත්වයන්ට මුහුණ දී  තිබෙනවා. ඒ තුළ, පැරිස් සමුළුවේ ඇතිකරගන්නාවූ එකඟතාවයන්, ගිවිසුම් එම ප්‍ර‍කාශනයට අත්සන් කිරීමෙන් අප ජාත්‍යන්තර වශයෙන් ලබාගත් එකමුතුව සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම විශේෂයෙන්ම අද  මුළු ලෝකය හමුවේ අපි  මුහුණ දෙන ඉතා වැදගත් ඉලක්කයක් බව මෙහිදී සඳහන් කරන්නට ඕනෑ.   ඒ නිසා කාලගුණික, දේශගුණික වෙනස්වීම් සම්බන්ධයෙන් පැරිස් සමුළුවේ ඇතිකරගත් එකඟතාවය, මෙම ප්‍ර‍කාශනයට අත්සන් කිරීමෙන් ඇතිකරගත් සම්මුතිය ක්‍රියාත්මක කිරීම මුළු මහත් මානව සමාජයට මෙන්ම මුළු මහත් සත්ත්ව ලෝකයේ පැවැත්ම සඳහා ඉතා වැදගත් වන්නා වූ කාර්යයක් බව අප විසින් සිහියේ තබා ගැනීම  ඉතාමත්ම වැදගත් වෙනවා. 

 

දුගී බවින් නිදහස් වීමේ ජාතික වැඩ සටහන තුළ  “ග්‍රාම ශක්ති” නමින් මම නව වැඩ පිළිවෙලක් මගේ රජය යටතේ මගේ රටේ විශේෂයෙන්ම ආරම්භ කරනු ලැබුවා.

 

ඒ වගේම 2025 වසර දක්වා පැහැදිලි ආර්ථික ප්‍ර‍තිපත්තියක් සහ සැලැස්මක් අප විසින් මේ වනවිට ප්‍ර‍කාශයට පත්කර තිබෙනවා.  දේශීය ආර්ථිකය ශක්තිමත් කරමින්, දේශීය කෘෂිකර්මාන්තය ශක්තිමත් කරමින්, දුගී බවින් නිදහස් වීමේ ඒ පුළුල් ජාතික වැඩසටහනට නව ප්‍ර‍වණතාවයක් නව ගමන් මගක් සමග ඒ වැඩ පිළිවෙල හදුන්වා දෙමින් 2025 දක්වා අප ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන  ආර්ථික සැලැස්ම අපේ රටේ නව පිබිදීමක්, සමෘද්ධියක් ගොඩනැගීමට ඉමහත් සේ ඉවහල් වනු ඇතැයි මා විශ්වාස කරනවා. 

 

ඒ වගේම ගරු සභාපතිතුමනි,   විශේෂයෙන්ම මා මෙහිදී සඳහන් කරන්නට ඕනෑ මගේ රටේ මෙන්ම මුළුමහත් ලෝකයේ සියලු රටවල්වල අද දරුවන්  ප්‍ර‍ශ්න රාශියකට මුහුණ දී තිබෙනවා.  මගේ රට තුළ දරුවන් ආරක්ෂා කිරීම පිළිබඳව  “දරුවන් සුරකිමු” යන තේමාව යටතේ පුළුල් ජාතික වැඩ සටහනක් ආරම්භ කර තිබෙනවා.  මත් ද්‍ර‍ව්‍යවලින් දරුවන් බේරා ගැනීම, අපචාරවලින් දරුවන් බේරා ගැනීම, ඒ වගේම දරුවන් අපචාරවලට ලක්වීමෙන් වලක්වා ගැනීමමෙවැනි කරුණු මත මුළු මහත් මානව සමාජය අද දරුවන් ආරක්ෂා කිරීම පිළිබඳව ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් ඉතා වැදගත් ව්‍යාපෘති, වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ඉලක්ක සහගත අවශ්‍යතාවයේ  ව්‍යාපෘතීන් පැහැදිලිවම දකිනවා. 

 

කාන්තා අයිතීන් සුරැකීම පිළිබඳව අද  මුළු මහත් ලෝකය එදා වගේම දැඩි අවධානයක් යොමු වී තිබෙනවා.  කාන්තාවන්ට සම තත්ත්වයක් ලබාදීමේදී තවමත් ඇතැම් සමාජ තුළ විවිධාකාරයේ  කාන්තාවන්ට නොසලකන තත්ත්වයක් ලෝකයේ ඇතැම් රටවල් වල පෙන්නුම් කරනු ලබනවා.  මගේ රටේ ජනගහණයෙන් සියයට පනස් දෙකකට වැඩි සංඛ්‍යාවක් කාන්තාවන්. කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ අලුත් සංශෝධන මගින් සහතික කර තිබෙනවා වගේම, මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගෙන්  අනිවාර්යයෙන්ම අපේක්ෂිත ලැයිස්තුව තුළ  25% ක් කාන්තාවන් ඇතුළත් විය යුතුය යන්න මගේ ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ අලුත් සංශෝධනවලට ඇතුළත් කර තිබෙනවා.  දරුවන් ආරක්ෂා කිරීම, කාන්තා අයිතීන් සුරක්ෂිත කිරීම, ඒ වගේම මුළු මහත් සමාජයට බරපතල ප්‍ර‍ශ්නයක්ව පවතින මත්ද්‍ර‍ව්‍ය මර්දනය පිළිබඳව අප ජාතික වශයෙන් ආරම්භ කර ඇති වැඩ සටහන් වගේම එක්සත් ජාතීන්ගේ  සංවිධානය විදිහට මුළු මහත් මානව සමාජයේ යහ පැවැත්ම සඳහා මත්ද්‍ර‍ව්‍ය මර්දනය පිළිබඳව පුළුල් ජාත්‍යන්තර වැඩ පිළිවෙලක අවශ්‍යතාවය ඔබ අප සෑම කෙනෙක්ම පැහැදිලිව දන්නා වූ කාරණයක්.  ඒ අනුව, ලෝකයේ සෑම රටකම, සෑම සමාජයකම පාසැල් දරුවාගේ සිට මත්ද්‍ර‍ව්‍ය මර්දනය, මත්ද්‍ර‍ව්‍ය වැලැක්වීම, මත්ද්‍ර‍ව්‍ය නිවාරණය යන කරුණු පදනම් කරගෙන සමාජයට බරපතල අභියෝගයක් වී තිබෙන මත්ද්‍ර‍ව්‍ය විනාශ කිරීම සඳහා මුළු මහත් මානව සමාජයේ පොදු එකඟතාවයක්, පොදු වැඩපිළිවෙලක්, පොදු සම්මුතියක්, එක ගමනක් යෑම් සදහා ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයක් හැටියටයි මා දකින්නේ.   

 

ඒ වගේම, මෙහිදී මා සඳහන් කරන්නට ඕනෑ අවුරුදු තිහකට ආසන්න කාලයක් දීර්ඝ යුද්ධයකට මුහුණ දුන් මගේ රටේ, 2015 මගේ රජය බලයට පත්වන විට ප්‍ර‍ධාන ප්‍ර‍ශ්න දෙකක් තිබුණා.  ඉන් ප්‍ර‍ධාන එක් ප්‍ර‍ශ්නයක් තමයි  විශාල වශයෙන් විදේශීය ණය අවුල.  විදේශයන්ට තිබෙන ඉතාමත් අසීමිත වූ ණය ගෙවීමක්, මුදල්වල හිඟයක් බරපතල ලෙස පෙන්නුම් කරනු ලැබුවා.

 

ඒ වගේම තමයි යුද්ධය පැවති කාලය තුළ  සිදුවුණා යැයි කියනු ලබන මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් ඇතිවූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද යෝජනා තුළ ප්‍ර‍ධාන වශයෙන් ඒ සදහා මුහුණදීම පිළිබඳව බරපතල ගැටළු එවකට තිබූ රජයට තිබුණා.  එහෙත් ප්‍රධාන වශයෙන්ම දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ නව වැඩ පිළිවෙල තුළ විදේශ ණය ගෙවීම සඳහාත්, ඒ වගේම විදේශ ආයෝජන ලබාදෙන මගේ රටේ නව ආර්ථික සමෘද්ධියක් ඇති කිරීම සඳහාත් අද ගෙනයන වැඩ පිළිවෙල තුළ විදේශ ණය විශාල වශයෙන්, ඒ තුළින් නිදහස් වීම පිළිබඳව ඉලක්ක සහගත  වැඩ පිළිවෙලක් මේ වනවිට අප ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ප්‍ර‍ධාන වශයෙන්ම මා පෙර කී පරිදි යුද්ධය තිබුණු කාලයේ ඇතිවූ තත්ත්වයන් පිළිබඳව ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව අපි රජයක් විදිහට සැලකිල්ලට අරගෙන ඒ සඳහා ඒ කරුණුවලට ප්‍ර‍මුඛතාවයක් දීලා එම කරුණු නිරවුල් කිරීමට, විසඳීමට මගේ රජය කැපවී සිටිනවා.  ප්‍ර‍ධාන වශයෙන්ම ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය තහවුරු කිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම, ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, පෝෂණය, මේ කියන කරුණු පදනම් කරගෙන මගේ රජයේ ගෙවී ගිය අවුරුදු දෙක හමාරක කාලය තුළ රට තුළ සාර්ථක ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී සමාජයක් ගොඩනැගීමේ කාර්යය ඉටු කර තිබෙනවා සේම ඉදිරි කාලය තුළ  ඉතාමත් පැහැදිලිව එම කරුණු ශක්තිමත් කිරීමට රජයක් විදිහට ක්‍රියා කරන බව විශේෂයෙන් මෙහිදී සඳහන් කරන්නට ඕනෑ.  ජාතික සංහිඳියාව ශක්තිමත් කරමින්, මගේ රටේ ජීවත් වන විවිධ භාෂාවන් කතා කරන, විවිධ ආගම් අදහන, මේ සෑම කෙනෙකු තුළම, සහෝදරත්වය ගොඩ නගමින් සැකය, අවිශ්වාසය, වෛරය, ක්‍රෝධය ඉවත් කරමින්, සෑම කෙනෙකුටම නිදහසේ සතුටෙන් එක සමානව ජීවත් විය හැකි සමාජයක් ගොඩ නැගීම සඳහා මගේ රජය කැපවී සිටින බව විශේෂයෙන් මෙහිදී සඳහන් කරන්නට ඕනෑ.  ඒ අනුව, ප්‍ර‍ධාන වශයෙන්ම දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අප ගෙන ඇති පුළුල් වැඩපිළිවෙලවල් තුළ අපේ රටේ ආර්ථික සමෘද්ධිය ඇති කරනවා මෙන්ම සමාජය තුළ ආධ්‍යාත්මික වශයෙන් යහපත් සමාජයක් ගොඩනගන්න, විනය ගරුක සමාජයක් ගොඩනගන්න, හික්මීමක් ඇති සමාජයක් ගොඩ නගන්න මගේ රජය කැපවී සිටිනවා. 

 

විශේෂයෙන්ම මෙහිදී නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම තුළ ප්‍ර‍ධාන වශයෙන්ම ඉතාමත්ම සාධාරණ සමාජයක් ගොඩ නැගීමේ මූලික කාර්යයට මගේ රජය ප්‍ර‍ධාන වශයෙන්ම කැපවී සිටිනවා.

 

එවැනි පසුබිමක ගරු සභාපති තුමනි, මා මෙහිදී ප්‍ර‍කාශ කරන්නට ඕනෑ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය ශක්තිමත් කරමින්, මානව හිමිකම් ශක්තිමත් කරමින්, මූලික අයිතිවාසිකම් ශක්තිමත් කරමින්, ජාත්‍යන්තර හොඳහිත දිනාගනිමින් අප රට සමඟ   මිත්‍ර‍ශීලී භාවයෙන් ඈත්ව තිබූ ලෝකයේ රටවල් ඒ සියල්ල මිත්‍ර‍ රටවල් බවට පත්කරගනිමින්, ජාත්‍යන්තරයේ හොඳහිත දිනාගනිමින්, ඉතාමත් යහපත් රාජ්‍ය පාලනයක් ගෙනයන මේ අවස්ථාවක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉතාමත් කාරුණික වූ සහයෝගය මගේ රට ගොඩ නගන්න ඉදිරියට ගෙනයන්න මා ඉතාමත් ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා. 

 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් වශයෙන් අපි අවුරුදු 62 කට ආසන්න කාලයක් කටයුතු කරලා තිබෙනවා.  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීති රීතිවලට එකඟව ප්‍ර‍ඥප්තීන්ට එකඟව, එකඟතාවයන්ට එකඟව, ගිවිසුම්වලට එකඟව කටයුතු කරන රටක් විදිහට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගන්නා වූ සියලු තීන්දු තීරණවලදී    ශ්‍රී ලංකා රජය සාමාජික රටක් වශයෙන් ඒ සිය බැඳීම් තහවුරු කරමින් කටයුතු කරන බව විශේෂයෙන් මෙහිදී සඳහන් කරන්නට ඕනෑ.  ඒ අනුව, මගේ රටේ ස්වාධීනත්වය ස්වෛරීත්වය සුරකිමින් අපි ක්‍රියාකරන්නා වූ ගමනේදී අපට එල්ල වී ඇති විවිධ චෝදනා, ඒ වගේම යෝජනා, අප විසින් ක්‍රියා කළ යුතු ආකාරයන් පිළිබඳව අපට නිදහස් රටක් වශයෙන්, සාමකාමී රටක් වශයෙන් සෙමින් ගමනක් ගොස් පැහැදිලි, ජයග්‍රාහී ඉලක්කයක් කරා යන්නට  සියලු දෙනාගේම ගෞරවනීය සහයෝගය ඉල්ලා සිටිනවා.

 

ඇතැම් අන්තවාදී පිරිස් වේගවත් ගමනක් බලාපොරොත්තු වෙනවා.  ඇතැම් අන්තවාදී පිරිස් වේගවත්, කඩිනම් විසඳුම් බලාපොරොත්තු වෙනවා.  ඇතැම් අන්තවාදී පිරිස් ඉතාමත් කෙටිකාලීන විසඳුම්  බලාපොරොත්තු වෙනවා.   නමුත්, අවුරුදු 30 කට ආසන්න කාලයක් යුද්ධයක් තිබූ රටක් විදියට රට අභ්‍යන්තරයේ ජනතාවගේ බෙදීම් ඇති වී තිබෙන රටක් විදිහට රට තුළ ජනතාවගේ සමගිය ඇති කරලා, ඒ සමගිය තුළ සහෝදරත්වය ගොඩනගලා, අවිශ්වාසය, සැකය, බිය, වෛරය, ක්‍රෝධය ඒ සියල්ල ඉවත් කරලා මගේ ආදරණීය රටත්, මගේ ආදරණීය ජනතාවත්, මගේ ගෞරවනීය මාතෘභූමියත් ගොඩගන්නට, ශක්තිමත් කරන්නට, සමෘද්ධිමත් ආර්ථිකයක් කරා ගොස්, ප්‍ර‍ජාතන්ත්‍රවාදී රටක් විදියට ඉදිරියට ගෙන යන්නට ඔබ සියලු දෙනාගේ  ගෞරවනීය සහයෝගය ඉල්ලා සිටිනවා.  ඒ නිසයි මා මෙහිදී ඉතා පැහැදිලිව කියන්නේ අපි සෙමින් යන සාර්ථක ගමනක් සඳහා අපිට අවශ්‍ය කාරුණික සහයෝගය දෙන්න කියලා.   

 

වේගවත් ගමනක් අනතුරු සහිතයි කියන එක අපි සෑම කෙනෙක්ම දන්නවා.  ඒ නිසා ඇතැම් අන්තවාදී කොටස්වල, ඔවුන් බලාපොරොත්තු වන වේගවත් ලෙස, කඩිනම් ලෙස, ක්ෂණික ලෙස විසඳුම් දීමේ අසීරුතාවයන් මුළු මහත් සමාජය තුළ තිබෙන්නා වූ සංකීර්ණ ස්වභාවයන් සමග ඔබ ගෞරවනීය ලෙස සෑම කෙනෙක්ම පිළිගනු ඇතැයි මා විශ්වාස කරනවා.  ඒ නිසා මගේ රට තුළ නැවත යුද්ධයක් ඇති නොවන්නට, මගේ රට තුළ සියලු ජාතීන් අතර සමගියක් ඇති වන්නට, මගේ රට තුළ සියලු ජනවර්ග කොටස් තුළ සහෝදරත්වයක් ඇති වන්නට, මගේ රට තුළ සියලු ආගම්, සියලු භාෂාවන් කතා කරන සියලු දෙනාම එකම සහෝදරත්වයකින් බැඳී ඇති රටක් ලෙස සියලු දෙනාම ඉදිරියට  ගෙනයන්නට මගේ රජය ගෙන ඇති  වැඩපිළිවෙළට ගෞරවනීය එක්සත් ජාතීන්ගේ සංවිධානයත්, ඒ වගේම ලෝකයේ සියලුම රාජ්‍යන්හි සහයෝගයත් මා ඉතාමත් ගෞරවනීය ලෙස බලාපොරොත්තු වෙනවා.  ආර්ථික සමෘද්ධියක් ඇති කරමින්, යහපත් සමාජයක් ගොඩනගමින්, ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය තහවුරු කරමින් මගේ රට තුළ නැවත යුද්ධයක් ඇති නොවන ලෙස කටයුතු කරමින් ලෝකයේ සමෘද්ධිමත් ආර්ථිකයක් සමඟ විශේෂයෙන්ම ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය තුළ ආදර්ශමත් රටක් විදිහට මගේ රට ඉදිරියට යන්නට ඔබ සියලු දෙනාගේම ගෞරවනීය සහයෝගය  ඉල්ලා සිටිමින්, ගරු සභාපතිතුමනි, ඔබ තුමාටත්, නව මහ ලේකම්තුමාටත් සුබ පතමින්, ස්තූතිවන්ත වෙමින් මාගේ කථාව අවසන් කරනවා.  ස්තූතියි.  තෙරුවන් සරණයි.


YouTubeVideo (Original Sinhala)  ~  Video (English Interpretation) 
sunclouds Original Audio (Sinhala)  ~  Audio English Interpretation 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close