මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ සංචාරයක

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ සංචාරයක

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් 2025 ජුනි 23 වැනි දින සිට 26 වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වේ. මෙය 2016 වසරේ පෙබරවාරි මාසයෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙකු ශ්‍රී ලංකාව වෙත සිදු කරනු ලබන පළමු සංචාරය වේ.

මෙම සංචාරය අතරතුරදී, මහ කොමසාරිස්වරයා, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය හමුවීමට නියමිතය. තවද, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා, තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආගමික නායකයින්, සිවිල් සමාජ නියෝජිතයින්, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයින් සහ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම සමඟ ද ඔහු රැස්වීම් පවත්වනු ඇත.

මෙම සංචාරයේ අංගයක් ලෙස, මහ කොමසාරිස්වරයා මහනුවර නගරය වෙතද සංචාරය කරමින්, ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගනු ඇති අතර, එහිදී අස්ගිරි සහ මල්වතු පාර්ශවයන්හි මහනාහිමිවරුන් බැහැදැකීමටද නියමිතව ඇත. ඔහු යාපනය සහ ත්‍රිකුණාමලය වෙතද සංචාරය කරමින්, උතුරු සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන් ද හමුවනු ඇත.

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සමඟ ශ්‍රී ලංකා රජය විසින් අඛණ්ඩව සිදු කරනු ලබන ඵලදායී සම්බන්ධතාවයට අනුව යමින්, මානව හිමිකම් සහ සංහිඳියාව ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම තවදුරටත් වැඩිදියුණු කිරීම කෙරෙහි, මෙම සංචාරය අතරතුර සිදු කිරීමට නියමිත විෂයානුබද්ධ සාකච්ඡාවලදී, සැලකිය යුතු අවධානයක් යොමු වනු ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ

2025 ජූනි 20 වැනි දින

Please follow and like us:

Close