ආගමක් ඇදහීමේ හෝ විශ්වාසයක් දැරීමේ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ශ්‍රී ලංකා සංචාරයක  

ආගමක් ඇදහීමේ හෝ විශ්වාසයක් දැරීමේ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ශ්‍රී ලංකා සංචාරයක  

pic1

තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ විශ්වාසයක් දැරීමේ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත, අහමඩ් සහීඩ් මහතා 2019 අගෝස්තු මස 15-26 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නියැලෙමින් අද දින (15) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අමාත්‍ය තිලක් මාරපන මහතා බැහැදැකීය.
 
2015 දී එක්සත් ජාතීන්ගේ සියලු තේමාත්මක විශේෂ ක්‍රියා පරිපාටි පිළිබඳ බලය දරන්නන් වෙත ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ස්ථාවර ආරාධනයට ප්‍රතිචාර වශයෙන් විශේෂ නියෝජිත සහීඩ් මහතාගේ සංචාරය සිදු වේ. පසුගිය සිව් වසරක කාලය තුළ විශේෂ ක්‍රියා පරිපාටි පිළිබඳ බලය දරන්නකු විසින් ශ්‍රී ලංකාවේදී කරන ලද දස වැනි සංචාරය මෙය වේ. 2018 වසරේදී මෙම සංචාරය පැවැත්වීම සඳහා විශේෂ නියෝජිත සහ ශ්‍රී ලංකා රජය එකඟත්වයට පැමිණ තිබිණි.
එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමඟ විවෘත, විනිවිද භාවයකින් යුතු සහ සාධනීය සංවාදයක නියැලීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව විශේෂ ක්‍රියා පරිපාටි පිළිබඳ බලය දරන්නන් ගණනාවකගේ සංචාර සඳහා පහසුකම් සලසා ඇති බව විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේය. විශේෂ නියෝජිතයන් හා සම්බන්ධ වීම සහ ඔවුන්ගේ ප්‍රතිචාර ධනාත්මකව පිළිගැනීම රජය නිරන්තරයෙන් අගය කළ කරුණක් බව ඔහු සඳහන් කරන්නට යෙදුණි. විශේෂ නියෝජිතවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකා රජයේ පූර්ණ සහයෝගය දක්වන බවට එම මහතා සහතික විය.
විශේෂ නියෝජිත සහීඩ් මහතා රජයේ ආරාධනය පිළිබඳ ස්තූතිය පළ කරමින් පාස්කු ඉරිදා සිදුවීමෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ පෑ දුෂ්කරතා සහ සංවේදී අවස්ථා පිළිගත්තේය. විශේෂයෙන්ම, 2019 අප්‍රේල් මස 21 වැනි දා සිදුවීම්වලින් අනතුරුව රැකවරණය පතන්නන් සහ සරණාගතයන්ගේ රැකවරණය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා රජය විසින් ක්‍රියා කරනු ලැබූ ආකාරය ඔහුගේ ප්‍රශංසාවට ලක් විය.
විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රාජ්‍ය නිලධාරීන්ගේ රැස්වීමකට විශේෂ නියෝජිතවරයා සහභාගී විය. ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව, බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය, සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව, සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය, ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශය හා හානි පූරණය සඳහා වන කාර්යාලය ඇතුළු රජයේ නියෝජිතායතන ගණනාවක් සහභාගී විය.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංවර්ධනය යළි ස්ථාපිත කරගැනීමේදී සියලු ජනතාවගේ රැකවරණය සහ ආරක්ෂාව තහවුරු කිරීම සහ පැවැති කලබලකාරී අවස්ථාව යථා තත්ත්වයට පත්කිරීම සඳහා රජය සතු වූ ශක්‍යතාව රජයේ පාර්ශ්වකරුවන්ගේ රැස්වීමේදී විදේශ ලේකම් ආර්යසිංහ මහතා සඳහන් කළේය. මූලධර්මවාදී අදහස් හරණය සහ අන්තවාදී ගැටලු පිළිබඳ කටයුතු කිරීමේදී සහ යම් ආගමක් ඇදහීමේ හෝ විශ්වාසයක් දැරීමේ නිදහස ආරක්ෂා කරගැනීමේදී ඇති වන ගැටලු කළමනාකරණය කරගැනීමේදී සෙසු රටවල් අනුගමනය කළ ක්‍රියාමාර්ග සහ විශේෂ නියෝජිත ලැබූ අද්දැකීම් මඟින් අවබෝධයක් ලබාගැනීමට ශ්‍රී ලංකා රජය දැඩි උත්සහයක් දක්වන බව එම මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.
 
විශේෂ නියෝජිතවරයා උතුරු,නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිතය. ඔහුගේ මෙම සංචාරය අතරතුරදී ආගමික ප්‍රධානීන් කිහිපදෙනකු සහ සිවිල් සමාජ නියෝජිතයන් මෙන්ම මානව හිමිකම් කොමිෂන් සභාවද හමුවීමට නියමිතය.
 
මෙම සංචාරය අවසානයේ දී, 2019 අගෝසතු 26 වැනි දින රජයේ පාර්ශ්වකරුවන් වෙත කරුණු දැක්වීමේ රැස්වීමක් පවත්වනු ඇත. ඉන් අනතුරුව, එදිනම මාධ්‍ය හමුවක් පවත්වනු ලබන අතර, එහි දී විශේෂ නියෝජිතගේ මූලික සොයා ගැනීම් පිළිබඳව මාධ්‍ය සමඟ සාකච්ඡා කරනු ඇත. විශේෂ නියෝජිත ශ්‍රී ලංකාව තුළ සිදු කළ සංචාරයේ වාර්තාව 2020 මාර්තු මස මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරනු ඇත.
 
 
විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

2019 අගෝස්තු 15 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close