දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් තානාපති ඩොනල්ඩ් ලූ මහතා, එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ශ්‍රී ලංකාවේ සිදු කරන ලද සංචාරය සාර්ථකව අවසන් කරයි

 දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් තානාපති ඩොනල්ඩ් ලූ මහතා, එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ශ්‍රී ලංකාවේ සිදු කරන ලද සංචාරය සාර්ථකව අවසන් කරයි

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ මහතා, එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වන නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ආසියාව සඳහා වූ කාර්යාංශයේ නියෝජ්‍ය සහකාර පරිපාලක අන්ජලී කර් මහත්මිය සමඟ ශ්‍රී ලංකාව වෙත සිදු කරන ලද සංචාරය පසුගියදා සාර්ථකව අවසන් කළේය. එම සංචාරය අතරතුරදී එක්සත් ජනපද දූත පිරිස 2024 දෙසැම්බර් 6 වැනි දින සිට 7 වැනි දින දක්වා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වූහ. ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබිඹු කරමින් කලාපීය සාමය, ආර්ථික සහයෝගිතාව සහ ප්‍රජාතන්ත්‍රවාදී සංවර්ධනය සඳහා දෙරටේම ඇති කැපවීම මෙම සංචාරය තුළින් ඉස්මතු විය.

දූත පිරිස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බැහැදැක ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය, දැනට ක්‍රියාත්මක වන දූෂණ විරෝධී මුලපිරීම් සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීමේ උත්සාහයන් පිළිබඳව සාකච්ඡා කළහ. ග්‍රාමීය ජීවන තත්ත්වය නඟා සිටුවීම සහ රාජ්‍ය අංශයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා වන තම දැක්මද දිසානායක මහතා එහිදී පෙන්වා දුන්නේය.

දූත පිරිස 2024 දෙසැම්බර් 06 වැනි දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියද බැහැදැක සාකච්ඡාවක් පැවැත්වූ අතර, එහිදී ඔවුහු ආර්ථික ප්‍රකෘතිය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව සවිස්තරාත්මක සාකච්ඡාවක නිරත වූහ.

එමෙන්ම, දූත පිරිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ කලාපීය ආරක්ෂාව, මානව හිමිකම් සහ බහුපාර්ශ්වික සහයෝගිතාව සම්බන්ධ කරුණු පිළිබඳව ඵලදායී සාකච්ඡා පැවැත්වූහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ පැවැත්වෙන තෙවැනි සමාලෝචනය පිළිබඳ නියෝජිත පිරිස දැනුවත් කළ අමාත්‍යවරයා සාමකාමී ඉන්දීය සාගර කලාපයක් පවත්වාගෙන යමින් සියලු රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කර ගැනීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම සහතික කළේය. එක්සත් ජනපදය ශ්‍රී ලංකාව වෙත ලබා දෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳවද ඔහු සිය ප්‍රශංසාව පළ කළේය. නියෝජ්‍ය සහකාර පරිපාලක කර් මහත්මිය, ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතාවලට ගැළපෙන පරිදි අනාගත ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ව්‍යාපෘති සකස් කිරීමට එක්සත් ජනපදය දක්වන දැඩි උනන්දුව ප්‍රකාශ කළාය.

මෙම සංචාරය ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින ශක්තිමත් සබඳතාවයට සාක්ෂියක් වන අතර, ඉදිරි වසරවලදී අන්‍යෝන්‍ය අවශ්‍යතා ඇති විවිධ ක්ෂේත්‍ර හරහා එම ශක්තිමත් සබඳතා වර්ධනය කරගැනීමට දෙරටම කැපවී සිටියි.

 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ

2024 දෙසැම්බර් 13 වැනි දින

Please follow and like us:

Close