කොවිඩ්-19 පිළිබඳ අභියෝගයන්ට මුහුණ දීම සඳහා තුර්කිය ශ්‍රී ලංකාවට වෙන්ටිලේටර් සහ පෞද්ගලික ආරක්ෂක උපකරණ පරිත්‍යාග කරයි

කොවිඩ්-19 පිළිබඳ අභියෝගයන්ට මුහුණ දීම සඳහා තුර්කිය ශ්‍රී ලංකාවට වෙන්ටිලේටර් සහ පෞද්ගලික ආරක්ෂක උපකරණ පරිත්‍යාග කරයි

 තුර්කි රජය විසින් පරිත්‍යාග කරන ලද වෙන්ටිලේටර් උපකරණ 10 ක් සහ පුද්ගලික ආරක්ෂක උපකරණ තොගයක් ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති ඩෙමෙට් සෙකර්ශියොග්ලු මැතිණිය විසින් 2021 පෙබරවාරි 18 වැනි දින විදේශ අමාත්‍යාංශයේ දී පිරිනමන ලද අතර, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විසින් එම උපකරණ නිල වශයෙන් භාරගන්නා ලදී. ශ්‍රී ලංකාවේ අඛණ්ඩව ක්‍රියාත්මක වන කොවිඩ්-19 මැඩපැවැත්වීමේ ප්‍රයත්නයන්ට සහාය දැක්වීම සඳහා තුර්කි රජය විසින් මෙම පරිත්‍යාගය ලබා දී තිබේ.

දෙරට අතර දිනෙන් දින වර්ධනය වන අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් සහයෝගීතාවය සිහිපත් කරමින්, විදේශ ලේකම් කොළඹගේ මහතා තුර්කි රජය වෙත සිය කෘතඥතාව හා හෘදයංගම අගය කිරීම පළ කළේය. ආර්ථික ක්ෂේත්‍රය ඇතුළුව, මෑත කාලයේ ඔප් නැංවී ඇති ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත්කම පිළිබඳව ද විදේශ ලේකම්වරයා සඳහන් කළේය.

මෙම උපකරණ පරිත්‍යාග කිරීමේ උත්සවය සඳහා විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම කොළඹ තුර්කි තානාපති කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික කාර්යය මණ්ඩලය ද සහභාගී වූහ.

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2021 පෙබරවාරි 18 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close