ශ්‍රී ලංකාව දෙවැනි වසරටත් එක්සත් ජනපද පුද්ගල ජාවාරම් පිළිබඳ වාර්තාවේ ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථරයේ රැඳී සිටියි

ශ්‍රී ලංකාව දෙවැනි වසරටත් එක්සත් ජනපද පුද්ගල ජාවාරම් පිළිබඳ වාර්තාවේ ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථරයේ රැඳී සිටියි

ශ්‍රී ලංකාව දෙවැනි වසරටත් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන, පුද්ගල ජාවාරම් පිළිබඳ වාර්තාවේ (TIP) ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථරයේ රැඳී සිටියි. 2018 ජුනි මස 28 වැනි දින නිකුත් කරන ලද 2018 වාර්තාවට https://www.state.gov/j/tip/rls/tiprpt/ යන සබැඳිය ඔස්සේ පිවිසිය හැකිය.

පුද්ගල ජාවාරම පිළිබඳ මෙම වාර්ෂික වාර්තාව සකස් කරනු ලබන්නේ 2000 වර්ෂයේ සම්මත කරගනු ලැබූ එක්සත් ජනපද පුද්ගල ජාවාරම් වින්දිතයන් ආරක්ෂා කිරීමේ සංශෝධිත පනතට අනුවය. මෙම පනත මගින්, පුද්ගල ජාවාරම්වලට එරෙහිව කටයුතු කිරීම පිණිස දරනු ලබන ප්‍රයත්න සම්බන්ධීකරණය කිරීම සඳහා පුද්ගල ජාවාරමට එරෙහිව කටයුතු කිරීමේ හා ඒ පිළිබඳව අධීක්ෂණ කටයුතු සිදු කිරීමේ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු කාර්යාලය හා ජනාධිපති අන්තර් නියෝජිතායතන කාර්ය බලකාය පිහිටුවීමට බලය පවරා තිබේ. සියලු රටවල් තක්සේරුවකට ලක්කරමින් සකස් කර ඇති මෙම වාර්ෂික වාර්තාව එක්සත් ජනපද රජය භාවිතා කරනුයේ මිනිස් ජාවාරමට එරෙහි ප්‍රතිසංස්කරණ වැඩිදියුණු කිරීමට, පුද්ගල ජාවාරමට එරෙහිව කටයුතු කිරීමට සහ පුද්ගල ජාවාරම් වැළැක්වීම, ආරක්ෂණය හා ඊට සම්බන්ධ නෛතික කටයුතුවලට අදාළ සම්පත් ඉලක්ක කර ගැනීමට විදේශ රටවල් සමඟ සංවාදයක් ගොඩනංවා ගැනීම පිණිසය. මෙම වාර්තාව, පුද්ගල ජාවාරම් වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනතේ 108 වන වගන්තියේ සඳහන් "පුද්ගල ජාවාරම මුලිනුපුටාදැමීම සඳහා වන අවම ප්‍රමිතීන්" වලට අනුකූලව අදාළ රට විසින් දරනු ලැබූ ප්‍රයත්නවල ප්‍රමාණය මත පදනම්ව එක් එක් රටවල් ශ්‍රේණිගත කිරීමේ ස්ථර තුනෙන් එකක ශ්‍රේණිගත කරයි.

ශ්‍රී ලංකාව 2013 වසරේ සිට 2016 වසර දක්වා අඛණ්ඩව සිවු වසරක් දෙවැනි ස්ථරය සඳහා වන නිරීක්ෂණ ලැයිස්තුවේ රැඳී සිටි අතර, පුද්ගල ජාවාරමට එරෙහිව රජයේ අදාළ නියෝජිතායතන විසින් ගන්නා ලද ක්‍රියාකාරී පියවර සැලකිල්ලට ගනිමින් 2017 වසරේදී දෙවැනි ස්ථරයට උසස් කරනු ලැබිණි. රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන මෙම වාර්ෂික වාර්තාවේ සඳහන් රටවල් වර්ගීකරණය, රටවල්වලට ලබාදෙන එක්සත් ජනපද සහය කෙරෙහි බලපාන අතර, එක්සත් ජනපද සහය මෙන්ම බහුපාර්ශ්වික සංවර්ධන බැංකුවල සහය ලබාදීමේදී තුන්වැනි ස්ථරයේ සිටින රටවල්වල රජයන් යම් යම් සීමාකිරීම්වලට යටත්වේ.

පූර්ව වාර්තා කාලාවධිය හා සැසඳීමේදී ශ්‍රී ලංකා රජය මෙම වසරේදී පුද්ගල ජාවාරම් මැඬීම සඳහා ක්‍රමිකව වැඩිවන පරිශ්‍රමයක් දරා ඇති බව පෙන්නුම් කෙරෙන බැවින් දෙවැනි ස්ථරයේම රැඳී සිටීමට ශ්‍රී ලංකාවට හැකිවූ බව 2018 වර්ෂයේ පුද්ගල ජාවාරම් පිළිබඳ වාර්තාව ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර අපරාධකරුවන් මෙන්ම ත්‍රස්තවාදී ජාලයන් පෝෂණය කිරීම හා ඊට ධෛර්යය සැපයීම මඟින් විශ්වීය සාරධර්ම යටපත් කරමින් හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙමින් , ලොව පුරා ව්‍යාප්තව ඇති පුද්ගල ජාවාරම් ගැටලුවෙහි විශාලත්වය ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇත. පුද්ගල ජාවාරමට එරෙහිව දේශීයව හා ජාත්‍යන්තරව කටයුතු කිරීමෙහිලා එක්සත් ජනපදය හා අනෙකුත් ද්විපාර්ශ්වික හවුල්කරුවන් මෙන්ම ජාත්‍යන්තර සංවිධාන සමඟ එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව තවදුරටත් කැපවී සිටියි.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2018 ජූලි 04 වැනිදා
Print Friendly, PDF & Email
Please follow and like us:

Close