ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික නර්තන කලාව ප්‍රදර්ශනය කරමින් වෙස් උත්සවය සහ පාහිම් පත් මංගල්‍යය තානාපති කාර්යාල පරිශ්‍රයේ දී පැවත්‍විණ.

ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික නර්තන කලාව ප්‍රදර්ශනය කරමින් වෙස් උත්සවය සහ පාහිම් පත් මංගල්‍යය තානාපති කාර්යාල පරිශ්‍රයේ දී පැවත්‍විණ.

 

එක්සත් ජනපදය තුළ ශ්‍රී ලාංකීය සංස්කෘතිය ප්‍රදර්ශනය කිරීමේ මුලපිරීමක් ලෙස, වොෂින්ටන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඩී.සී., මේරිලන්ඩ් හි “නටමු” නම් වූ ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික නර්තන පාසල සමඟ එක්ව වෙස් මංගල්‍යය හා වෙස් උත්සවය 2023 අගෝස්තු 19 වන දින තානාපති කාර්යාලයේ දී පවත්වන ලදී.

වෙස් මංගල්‍යය යනු ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතික උරුමයේ විචිත්‍රවත් සැමරුමක් වන අතර එය සම්ප්‍රදාය, කලාව සහ අධ්‍යාත්මිකත්වයේ සුන්දර එකතුවකි. එය සිසුන්ගේ දක්ෂතා විදහා දැක්වීමට පමණක් නොව ලොව පුරා ප්‍රේක්ෂකයින් වශී කරවන ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික නර්තනයේ චිරස්ථායී උරුමය පිළිබඳ සාක්ෂියක් ලෙස ද ක්‍රියා කරන වැදගත් අවස්ථාවකි. කලාව ප්‍රදර්ශනය කිරීමක් සහ උපාධි ප්‍රදානෝත්සවයේ සම්මිශ්‍රණයක්  ලෙස පැවැති මෙම උත්සවය, සාම්ප්‍රදායික නර්තන ශිල්පීන් ලෙස සිසුන්ගේ ජීවන ගමනේ වැදගත් පරිච්ඡේදයක් සම්පූර්ණ කිරීම සංකේතවත් කරමින් පැවැත්විණ.

වෙස් මංගල්‍ය දිනයේදී විචිත්‍රවත් සාම්ප්‍රදායික ඇඳුමින් සැරසුණු පිරිමි දරුවකු සහ ගැහැනු ළමුන් සිව්දෙනකු හේගර්ස්ටවුන් හි පිහිටි වොෂින්ටන් බෞද්ධ විහාරය, මේරිලන්ඩ් බෞද්ධ විහාරය සහ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය නියෝජනය කරන මහා සංඝරත්නය විසින් චාරිත්‍රානුකූල ආශිර්වාදය ලබා ගත්හ. සම්ප්‍රදායික චාරිත්‍රවලින් අනතුරුව සම්ප්‍රදායික බෙර වාදනය මධ්‍යයේ පොල් තෙල් පහන දැල්වීමෙන් අනතුරුව උත්සවයේ ප්‍රථම නර්තන අංගය ලෙ‍ස මංගලම් නැටුමෙන් අනතුරුව උත්සවය ආරම්භ විය.

තානාපති මහින්ද සමරසිංහ මහතා පිළිගැනීමේ කතාව අතරතුර “නටමු” නම් වූ ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික නර්තන පාසල මගින් සාර්ථක උත්සවයක් සංවිධානය කරමින් සාම්ප්‍රදායික නැටුම් කලාව එක්සත් ජනපදයේ අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව ප්‍රශංසා කළේය. මෙම උත්සවය සඳහා තානාපති කාර්යාල පරිශ්‍රය පිරිනැමීමට ගත් තීරණය, මව්බිමෙන් දුරස්ව සිටිය ද අපේම සම්ප්‍රදායන් හදාරා පෝෂණය කිරීමට තීරණය කර ඇති දක්ෂ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් දිරිමත් කිරීමක් බව ද තානාපතිවරයා සඳහන් කළේය. මෙම සාර්ථක උත්සවය ඉදිරි වසර තුළ දී ද ක්‍රමිකව පැවැත්වනු  ඇතැයි ද, උපාධි ලබන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති සිසුන් එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා සංස්කෘතික තානාපතිවරුන් බවට පත්ව ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික නැටුම් මතු පරම්පරාවට දායාද කරනු ඇතැයි ද ඔහු බලාපොරොත්තු වන බව පැවසීය.

දෙමාපියන්ට සහ ගුරුවරුන්ට වන්දනාමාන කිරීමේ චාරිත්‍රයද සිදු කෙරුණු අතර ඉන් අනතුරුව ඉදිරිපත් කරන ලද බුලත් පදය සහ යක් අනුම යන නැටුම් අංගයන් තානාපති පරිශ්‍රයට රැස්ව සිටි 250කට අධික නරඹන්නන්ගේ සිත් ඇද බැඳ ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාවෙන් සහ නිව්යෝර්ක් සිට පැමිණි ප්‍රවීණ නර්තන ශිල්පියෝ සහ බෙර වාදකයෝ උඩරට නැටුම් චාරිත්‍ර ඉටු කළහ. උත්සවය අවසානයේදී නැවුම් සිලෝන් තේ ඇතුළු සාම්ප්‍රදායික පාන වර්ග නරඹන්නන් වෙත පිරිනැමිණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලාංකික ප්‍රජාව, එක්සත් ජනපද ජාතිකයින් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් රැසක් සහභාගී වූහ. බහු සංස්කෘතික දැනුවත්භාවය, විවිධත්වය සහ විවෘතබාවය වර්ධනය කරන ප්‍රජාවක් නිර්මාණය කරමින් සංස්කෘතික සංරක්ෂණයේ පරමාදර්ශයක් වූ චතුරි වික්‍රමාරච්චිගේ නායකත්වය යටතේ “නටමු” නම් වූ ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික නර්තන පාසල 2012 දී පිහිටුවන ලදී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

වොෂින්ටන් ඩී.සී.

2023 අගෝස්තු 23

Print Friendly, PDF & Email
Please follow and like us:

Close